ඉරුණු ජීවිත 07 (නවකතාව) විසඳුමක් සෙවීම

පරිච්ඡේදය 7 | Laksilu 13 වාර කියවා ඇත 0 අදහස්

 පසුදා උදෑසන අවදිව රැකියාවට ගිය සැමියාගේ මුහුණ වෙනදාට වඩා බැරෑරුම් ගතියකින් යුක්ත වූ බව ඇයට පෙනුණි. මේ කතාව ඔහුට කියා තමන් කලේ මෝඩකමක් දැයි දැන් ඇයට සිතේ.සිතේ සැහැල්ලුවෙන් දවස පුරාම මන්දස්මිතයක් මුහුණේ ඇති ඔහු අද වැඩට ගියේ අඳුරු බැරෑරුම් මුහුණිනි. තමාගේ ලෝකයේ පායා තිබූ පුන් සඳ අඳුරු වළාවකින් වැසීගෙන යන්නා වැනි හැගීමක් ඇයට දැනුණි.තමාගේ සිත සැහැල්ලු කර ගැනීමට සිතා ඔහුට කතාව පැවැසීමෙන් ඔහුගේ සිත බරවී, මුහුණ ද මැලවී බර වී ඇති බවක් ඇයට දැනුනි.සතියක් පමණ මෙපරිදෙන් ගෙවී යන්නේ කිසිඳු වෙනසක් ජීවිතේ ඇති නොකරමිනි. මේ ගත වන කාලය හා පෙර ජීවිතයේ ලොකු වෙනසක් ඇත.එනම් සැමියා මැලවුන මුහුණින් ගෙදරින් යයි. මැලවුන හා විඩාබර වූ මුහුණින් ගෙදර එයි. වෙනදා ගෙදර තිබූ එළිය පහව ගොසින් යැයි ඇයට සිතේ. ඔහුට දරා ගත නොහැකි පීඩනයක් තමා ඔහුගේ හිස මතට පෙරළුවා දැයි ඇයට සිතේ.මේ කෙහෙල්මල ඔහුට නොකියා සිටියා නම් ඉවරයි යැයි ඇයට සිතුණු වාර අපමණය. නමුත් ඇයට සිතා ගත නොහැක්කේ මේ සිදුවීම පිළිබඳව ඔහු එතරම් කණගාටු වන්නේ මන්දැයි කියාය.ඔහුගේ සිතේ තමා ඔහුට අහිමි වේ දැයි ඔහුට සැකයක් මතු වී ඇද්ද ? ඔහු එතරම් මෝඩ ද ? වෙන්න බැහැ.

වැඩ ඇරී ගෙදර පැමිණි සැමියා දිනක් තේ කෝප්පයක් බී අවසන් වූ පසු කීවේ "මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ, වෙලා තියෙනවද?" ඔහු මෙසේ අසන්නේ සමහර දිනවල මහ රෑ වන තුරුත් තමන් ටියුෂන් කරන බව දන්නා බැවිනි. ටියුෂන් කෙරුවාව මහ එපා කරපු රස්සාවක් බවත් ඔහු දනී. නමුත් ගුරු පඩියෙන් ජීවත් වීමට නොහැකි බැවින් අකමැත්තෙන් වුවද ටියුෂන් කල යුතුව ඇති බව ද ඔහු දනී.

"පුළුවන් රෑ අටෙන් පස්සේ, රෑ කෑම කලා කතා කරමු. හදිස්සියක් නැහැ නේ" ඇය ඇසක් ද ඉඟි මරමින් ඔහුට පැවසුවේ පුරුද්දට මෙනි. නමුත් ඔහුගේ සිනාව වෙනදා ඇයට හුරු පුරුදු සිනහව නොවේ. බොහෝම උපශාන්ත සන්සුන් සිනහවකි.

"හරි එහෙනම් රෑට කතා කරමු "

රාත්‍රී ආහාරයෙන් පසු වෙනදා මෙන්ම ඇඳට ගිය ඇය ඔහුගේ පළල් උරහිස මත හිස තබාගෙන සිටියේ ඔහු හඬ අවදි කරන තුරුය. ඇගේ හිස උරහිස මත තබා ගෙනම සිවිලිමේ කරකැවෙන විදුලි පංකාව දෙස ඔහු බලා සිටින්නේ තමාට කීමට ඇති දේ හිත තුල නැවත නැවත කියවමින් පාසල් වේදිකාවේ තම පළමු කතාව කීරීමට සැරසෙන ළමයකු මෙනි. උරහිසින් හිස අහකට නොගනිමින් ම ඇය කල්පනා කරන්නේ මේ තරම් සංවිධානය කරගෙන පුරුදු වෙවී ඔහු කියන්න උත්සාහ කරන්නේ කවරක් ද ? කියාය. පැය භාගයක පමණ නිහැඩියාවකින් පසු ඔහු කිසිත් නොකියන බැවින් 

"ඔයාට මොනවද? කියන්න තියෙනවා කිව්වා නේද ? ඔච්චර තටමන්නේ මොකෝ , මාව ඩිවෝස් කරන්න ඕනැද ?"

කිසිත් නොකියා මඳ සිනාවක් පා ඇගේ හිස අත ගෑ ඔහු බෙහෙවින්ම තැන්පත් ව සන්සුන්ව කතා කරමින් 

"මම ඔයාගේ ප්‍රශ්නය ගැන ගොඩක් කල්පනා කලා, දන්න කියන කීපදෙනෙක් ගෙනුත් ඇහුවා "

"අපෝ ! ඉවරයි. කිව්වද ? මං හීනෙන් පෙර ආත්මේ දැකලා බය වෙලා කෑ ගහනවා කියලා "

"ගොන් කතා නොකියා ටිකක් අහගන්නවා කියන දේ. මුන් ගුරාලා හන්දා ඇහුම්කන් දෙන්න පුරුදු වෙලාම නැහැ. ගොබ්බයෝ වගේ කියවන්න විතරයි දන්නේ" කියමින් ඔහු සිය බැරෑරුම් ස්වරූපයෙන් මිඳි සැහැල්ලුවෙන් කතා කරන්නට පටන් ගත්තේය. ඇයට උවමනා වී තිබුණේ මෙයයි.එනම් ඔහුගේ හිතේ ඇති මහා බර මඳ වේලාවකට හෝ සැහැල්ලු කරවීමයි.

"ඔයා කියලා කිව්වේ නැහැ. අපේ නෑයෙකුට කියලා කිව්වේ, එක්කෙනෙක්ගේ නමක් නම් හම්බු වුණා "සිරිවර්ධන" කියලා. මිනිහා මනෝ උපදේශකවරයෙක්, දොස්තර කෙනෙක් නෙමෙයි.ඉතින් බෙහෙත් දෙන්න බැහැනේ. මිනිහට පුළුවන්ලු හිප්ටෝනයිස් (මෝහනය ) කරලා ඕක අමතක කරවන්න.  හිප්ටෝනයිස් (මෝහනය ) වෙන්න කැමති නැතිනම් මිනිහත් එක්ක කතා කරලා වෙන ක්‍රමයක් හරි බලන්න පුළුවන් වෙයි, මිනිහා හම්බවුනොත් මම අපොයින්ට්මන්ට් එකක් ගන්නද ?"

"ඕක කරන්නම ඕනෙද ? දැන් අවුරුදු තිස් ගානක් මම ඕක එක්ක ජීවත් වෙලා තියෙනවා, මට නම් ඕක ඔය හැටි ප්‍රශ්නයක් වෙලා නැහැ"

"අපි මොකටද ? ඕක තියන් ඉන්නේ ගලවලා දා ගන්න පුලුවන්නම් ගලවලා දාමු, ඉවරයි නේ" ඔහු පැවසීය.

"හා ,හා එහෙනම් ගන්නකො අපොයින්ට්මන්ට් එකක්. බ්‍රහස්පතින්දා ට ගන්න මට උගන්නන නෑ. එදාට ප්‍රින්සිපල් ගේ මොකක්ද රැස්වීමක් තියෙනවා"

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!