ඉරුණු ජීවිත 08 (නවකතාව) මනෝ උපදේශකවරයා
පරිච්ඡේදය 8 | Laksilu 17 වාර කියවා ඇත 0 අදහස්
යොදා ගත් පරිදි බ්‍රහස්පතින්දා උදේ අට වන විට යුවල සිටියේ මනෝ උපදේශකවරයාගේ කාර්යාලයේ ය. කාර්යාලය කීවාට එය ඔහුගේ නිවසටම අලලා සැකසුනු කොටසකි.ලා නිල් පැහැයෙන් වර්ණ ගැන්වුනු බිත්ති හා කාර්යාලය තුලින් හමා එන සඳුන් සුවඳ එතුලට පිවිසෙන අයගේ සිත තැන්පත් කරවයි. අඩු ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් විශාල ඉඩක් ඇත්තා සේ පෙනෙන පරිදි සකසා ඇත්තේ සිත් පහන් වීමට රුකුල් දෙන අයුරිනි. කාමරයේ කෙලවරක සකසා ඇති කෘත්‍රීම දිය ඇල්ලෙන් ඇද හැලෙන ජල ධාරාවේ හඬ සිත භාව්‍යමය වින්දනයකට පමුණුවයි.කාර්යාලය තුලට පිවිසි දෙදෙනාටම සිතුනේ ගෙදර අත්හැර දමා මෙතන පැමිණ පදිංචි වීමට ය. උදේම නැගිට දඩි බිඩි ගා උයා පිහා ලෑස්ති වී ඊස් මීස් නැතිව වැඩට දුවන දෙදෙනාටම තමන්ගේ ගෙදර ස්වරූපය මොන වගේද කියා සිතට නගා ගන්නට බැරි වුයේ සන්සුන් මනසින් තමන්ගේ නිවස දෙසවත් බලා නැති බැවින් විය යුතු ය.කාර්යාලය තුල ඇති සුව පහසු සැටියෙහි වාඩි වූ යුවල සිත් පුරා කාර්යාලයේ ඇති විවිධ වර්ගයේ පින්තූර, ප්‍රතිමා වර්ග දෙස බලමින් හා නිදහසේ ඒවා විඳිමින් සිටින අතර තුර මනෝ උපදේශකවරයා පැමිණියේය.
මනෝ උපදේශකවරයාගේ පෙනුම දුටු ඇයට මුලින්ම සිතුනේ "මුට අප්සෙට් වගේ" කියාය. තරමක් දුරට වැඩුණු පිළිවෙලකට පීරා නැති කොණ්ඩයත් හොඳින් මැද නැති,තරමක් පොඩි වී ඇති ඇඳුමුත් ඇයට පෙනුනේ ක්ෂණයකිනි.
"ඔක්කොටම කලින් මේ යකාට මෙන්ටල් ට්‍රීට්මන්ට් දෙන්න වෙයි වගේ " ඇය සැමියාගේ කණට කොඳුරා කීවේ උපදේශකවරයාගේ අවධානය වෙනත් දෙයකට මඳ වේලාවකට යොමු වූ අවස්ථාවේදීය. මෙවිට ඇය දෙස බලා ඔහු ඇහිබැමි ඉහල යැව්වේ "කට පරිසමින් " යන පණිවුඩය දීමටයි.
ඔවුන් වෙත පැමිණි මනෝ උපදේශකවරයා දසන් දක්වා සිනාසෙමින් "ආයුබෝවන් " යැයි ආචාර කරන විට ඔවුන් ද මඳ සිනා සහිතව "ආයුබෝවන්" කියා ප්‍රතිආචාර දැක්වීය. ඔවුන් ඉදිරියේ අසුන් ගත් ඔහු මඳ වේලාවක් ඔවුන් සමඟ පිළිසඳර කතාවෙහි යෙදී ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්ණයට අවතීර්ණ විය. තමාට ඇති ගැටළුව, එහි වර්තමානය ඉතාමත් පැහැදිළි ආකාරයට ඇය මනෝ උපදේශකවරයාට පැහැදිලි කරන ලද්දේ දක්ෂ ගුරුවරියක නිසා විය යුතුය.
මුළු කතාවම සාවධානව අසා සිටි මනෝ උපදේශකවරයා ඉතාමත් පැහැදිලිව කතා කරන්නට පටන් ගත්තේය.
"මේ වගේ කාරණාවක් සිදු වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා ඉන් එකක් තමයි කුඩා කාලයේ ලොකු උසකින් වැටෙද්දී මනසේ බියත් සමඟ ඇති වූ චිත්‍රය වැටෙන අවස්ථාවේ තිබු පරිසර තත්ත්ව නැවත ඇති වීමත් සමඟ ඒ කියන්නේ වැටීම සිදුවුනේ වැස්ස වේලාවකදී නම් නැවත වහින විට මනසින් ඒ දේ මතක් කර දීම. ඒක අපේ ආරක්ෂාවට තියෙන දෙයක්. දෙවනුව පෙර ආත්මයේ මතකයන් සිහියට නැගීම. මේ කියන කාරණාව අනුව හා ඒක නැවත මතු වීමේ ලක්ෂණ අනුව මිස්ගේ සිදුවීම ගොඩක් අසන්න වන්නේ මේ දෙවැනි අවස්ථාවටයි."
මේ අවස්ථාවේ සැමියාගේ මුහුණ බැලූ බිරියට එහි තරමක ආඩම්බර මඳ සිනාවක් රැදී තිබෙනු දැක ගත හැකි විය. ඔහු කියූ දේ සැබෑ වීමට අසන්න වන බැවින් ඔහුගේ මුහුණේ එම ඉරියව්ව ප්‍රදර්ශණය වූවා විය යුතුය.
නැවතත් ඇයට මනෝ උපදේශකවරයාගේ කටහඬ ඇසෙන්නට විය.
"ඔය වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් කරන්නේ මෝහන ප්‍රතිකාරයක්. මෝහනය කරලා ඒ ආත්මයට ගෙනිහින් ඒ මතකය අමතක කරවන එක. හැබැයි සමහර අයට ඕක වැඩ කරන්නේ අනික් පැත්තට. ඒ කියන්නේ අමතක වෙලා තියෙන ඒවත් මතක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ මුළු කතාවම පැහැදිලිව මතක් වෙනවා. එතකොට නම් තත්වය ටිකක් බරපතලයි. අපිට කරන්න දෙයක් නැතිව යනවා. සමහර අයට එකත් එක්ක ජීවත් වෙලා කාලයත් එක්ක ඒක අමතක වෙලා යනවා. සමහර අයට මේක අමතක වෙන්න ගොඩ කාලයක් යනවා. එතකොට එක පාලනය කරගෙන ජීවත් වෙන්න වෙනවා. සමහර අය ඒකට කැමතියි. මුළු කතාවම මතකයේ තියෙන නිසා අළුත් මතකයක් වගේ වැඩ කරලා කාලයත් සමඟම අමතක වෙලා යනවා. හරියට පොඩි කාලේ ඉස්කෝලේ කරපු දඟ වැඩ වගේ. වෙන ක්‍රම නම් නැහැ මනෝ විද්‍යාත්මකව. තීරණයක් අරගෙන මෝහනය වෙන්න කැමති නම් ඊළඟ බ්‍රහස්පතින්දා උදේ අටට එන්න. බුද්ධාගමේ නිසා බුද්ධ පුජාවක් මෙතන තියලා ටිකක් වෙලා භාවනා කරවලා තමයි මෝහනය කරවන්නේ. ප්‍රශ්ණයක් නැහැ නේද ?"
"අපෝ නැහැ . අපි බ්‍රහස්පතින්දා එන්නම්" ඇය කීවේ එක්වරමය. ඇයගේ සැමියා ඉන් වටහා ගත්තේ ඇය මෝහන ප්‍රතිකාරය ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.
මතු සම්බන්දයි