ඉරුණු ජීවිත 09 (නවකතාව) මෝහනය
පරිච්ඡේදය 9 | Laksilu 13 වාර කියවා ඇත 0 අදහස්
ඊළඟ බ්‍රහස්පතින්දා උදෑසන අවදි වී මනෝ උපදේශකවරයා ගාවට දෙදෙනාම යනවිට වේලාව උදෑසන අටට පමණ වන්නට ඇත. සුවඳ දුමින් සුවඳවත්ව තිබූ ඔහුගේ කාර්යාලයේ බුදු කුටිය පිරිසිඳු කොට මල් වට්ටි කිහිපයක් තබා තිබුණි.මනෝ උපදේශකවරයාගේ මග පෙන්වීම මත මල් පුජා කොට හඳුන්කූරු දල්වා පන්සිල් සමාදන් වූ ඔවුහු සියළුම ජංගම දුරකතන ක්‍රියා විරහිත කොට අනාපානසති භාවනාව කලේ සිත සන්සුන් කර ගැනීමටය. අනතුරුව ලා නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇති මෝහන කුටීරයට ඔවුන්ව රැගෙන ගිය මනෝ උපදේශක වරයා සැමියාට උපදෙස් දුන්නේ කිසිදු ශබ්ධයක් නොනඟන ලෙසය. එම මෝහන කුටීරය හිස් කුටීරයකි. මනෝ උපදේශකවරුන් ලඟ ඇති දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදාව යුධ රහස් දැනගැනීම උදෙසා ප්‍රතිවිරුද්ධ හමුදා භටයින් මෝහනයට පත් කිරීමට යොදා ගන්නා ලද කළු සුදු බමරයක් වැනි චක්‍රය බිත්තියේ ගසා තිබුණි. මෝහනය වන තැනැත්තාට ඇඳක් , පුටු දෙකක් හා කුඩා සෝපාවක් හා ශබ්ධ පටිගත කරන යන්ත්‍රයක් හැර අන් කිසිම දෙයක් කුටීරය තුල නොවීය. කුටීරය මද ආලෝකයක් සහිතව වැඩිපුර අඳුරට බරව තිබුණි.ඇයට ඇඳෙහි වැතිරී දෑස් පියා ගැනීමට උපදෙස් දුන් මනෝ උපදේශකවරයා සැමියාට අතින් සන් කර සෝපාව පෙන්වුයේ එහි නිහඬව අසුන් ගන්නා ලෙස ඉල්ලමිනි.
"දැන් හිමීට ඇස් දෙක පියාගන්න. මම කියන දේ අහගෙන ඉන්න", ඔබ දැන් අතීතයට ගමන් කරමින් ඉන්නේ", දැන් ඔබට අවුරුදු විස්සයි. දැන් මොනවද ? පෙන්නේ , පේන දේ හිතෙන දේ මතක් වන දේ කියන්න." මෙහිදී ඇයගේ පිළිතුර වුනේ විශ්වවිද්‍යාලය පෙනෙන බවයි".
දැන් ඔබට අවුරුදු දහයයි ,පහයි යනාදී වශයෙන් කියමින් මනෝ උපදේශකවරයා ඇයව අතීතයට ගෙන ගොස් එතනින් පෙර ආත්මයට ගෙන ගියේ විනාඩි දහයක් වගේ කාලයක් ඇතුළතය. දැන් ඇය ක්‍රම ක්‍රමයෙන් ඇගේ පෙර ආත්මය කීමට පටන් ගත්තේ සැමියාව විශ්මයෙන් අලලවමිනි. එම පෙර ආත්මයේ කතාව මනෝ උපදේශකවරයාගේ ශබ්ධ පටිගත කරන යන්ත්‍රයේ පටිගත වේ. ඒ බව සැමියා දනී. එය ඇසීමට ඇයද කැමති බව ඔහු දනී. මනෝ උපදේශකවරයාට අනුව පෙර ආත්මය පැවසීමෙන් පසු ඔහු විසින් එම අතීත මතකය අමතක කරවනු ඇත. නමුත් එයද සැක සහිතය. ඔහු කීවේ සමහර අයට එසේ අමතක නොවන බවයි. මෙතැන් සිට ඉදිරියට ලියැවෙන්නේ ඒ අතීත කතාවයි.
මතු සම්බන්දයි