මගේ සේන් අහම්බය
කෙටිකතා ආදර (Romance)

මගේ සේන් අහම්බය

Saloli2048 20 1 0

By Sadev Liyanage

ඔව්. ඇත්තෙන්ම ඇය අහම්බයක්. මම දැකපු ලස්සනම මිඩ්ල්මිස්ට් රතු අහම්බය තමයි ඇය. මේක කියවන ඔයා එයාව දැක්කනම් ඔයා මේ ලෝකේ දැකපු ලස්සනම ගෑහැනු ළමයා ඇය කියලා ඔයාගේ අපූරු දිනපොතේ සුවඳම පිටුවේ උඩින්ම ජැස්මින් මල් සුවඳ නිල් පාට අකුරෙන් ලියනවා කියලා මම කැට තියලා කියනවා. තව ඇයට තියෙනවා ඇය වගේම ලස්සන අපූරු නමක් ඒ නම තමයි මාරියා


ඔහොම පොඩ්ඩක් ඉන්න, අහම්බෙක නම දන්නේ කොහොම ද? ඕකනේ ඔයාට හිතුනේ ඒකට කෙටියි වගේ පෙනුනට දිගම දිග මායාකාරී කතාවක් තියෙනවා. ඉර අවරට යද්දි හරි අපූරුයි නේද? මේකත් අන්න ඒ වගේ කතාවක්. ලස්සන හවසක ලස්සනම අහසක් වගේ කතාවක්.


ඒත් ඒ කතාව මට කියවන්න බෑ. බැරි මොකද දන්නවද මම ඔයා ළඟ නෙවේ නේ ඉන්නේ. ඉතින් ඒක ඔයාගේ ඇස්වලට කියවන්න කියලා හිතින් අහගෙන ඉන්න.


මම මගේ උපන් දිනය දවසට තනියම පැරිසියේ සේන් ගඟේ නැංගුරම් දාලා තියෙන ලස්සනම ලස්සන ෆ්‍රැන්සෙට් අවන්හලට ගිහින් රෑ කෑම ගන්නවා. ඒක මම කරන්නේ දැන් අවුරුදු දෙකක ඉඳන්. මම අවුරුද්දේ ගෙවන ලස්සනම සැන්දෑව තමයි ඒක. තනියම එක මේසයක් වෙන් කරගෙන අයිෆල් කුළුන දිහා බලාගෙන පැය ගානක් ඉන්නවා. කොච්චර හිටියත් කිසිම ඇති වීමක් නෑ. ඒ නිදහස තමයි රහම ප්‍රංශේටී අවන්හලේ කෑමවලටත් වඩා. ඉතින් මම අවුරුද්දේ ආසම සැන්දෑව ගෙවන අතරේ මට ඉස්සරහා මේසයෙන් වාඩි උන ඒ තාරකා අහම්බය මා නෙත ගැටුනා. ඒ තමයි මාරියා. මාරියාගේ ඇස්, ඒවා හරියට අයිෆල් කුළුන රකින්න පායපු තරු කැට වගේ හරිම පිවිතුරුයි. මම ඒ දිලිසෙන තරු අතර රතු රෝස මලක් අරන් තනි උනාද මන්දා කියලා මට දැන් හිතෙනවා.


මම ඇය එක්ක සිනාසුනෙමි. ඇයත් සිනාසුනි. මම ඇයට මගේ මේසයේ අසුන් ගන්නා මෙන් කළ ඇරයුම පිළිගෙන ඈ මාගේ මේසයේ ම අසුන් ගත්තාය. අපි අපව හඳුනා ගත්තෙමු.


ඇයව නොදන්නා නමුත් පෙර දන්නා ලෙස සිතුනු මා ඇයට ආදරයෙන් බැඳි ඇත. මම ඇයට කොහොම කියන්න ද? කිව්වත් ඈ මාව විශ්වාස කරයි ද? ඇරන් ඒ තාරකා ඇස්වලට පෙම් නොකර කොහොමද?


ආදර හැඟුම මම කියා නොසිටිමට මම වග බලා ගත්තෙමි. මම එය හද තුළ නිධානයක් සේ තියා ගන්න මට ම පොරොන්දු වුනෙමි.


අපට වෙන් වීමට වේලාව පැමිණ ඇත. කාලය හරි නපුරුයි. මම ඇයට කිව්වා අපි ලබන සතියෙත් මේ විදිහටම හමුවෙමු කියලා. ඇය ඊට එකඟව මන්දස්මිත පා එතැනින් නික්ම ගියා ය.


දන්නවද, මම එදා කතා වුනු විදිහට අවන්හලට ගියා. නමුත් මාරියා ආවේ නෑ. බලාපොරොත්තු ඇතිව මම හැම සතියකම එහි යනවා නමුත් ඇය යළි කෙදිනකවත් එහි ආවේ නැත.


ජීවිතයේ මා ගෙවූ ලස්සන ෆ්‍රැන්සෙටි හි සන්ධ්‍යාව මාගේ විසි තුන්වැනි උපන් දිනේ දවසේ ලස්සනම ලස්සන සන්ධ්‍යාවක් වී උච්චයකට පැමිණ නටඹුන් පමණක් ඉතිරි කර නැතිව ගියේ එලෙසින් ය.


මේ මායාකාරී අහම්බය මන්දාකිනියක ඉඳන් මෙහෙට එවන්න ඇත්තේ මන් වෙනුවෙන් නොව මගේ හිත වෙනුවෙන්ම පමණක් වෙන්න ඇති.


ඉතින් මම අහම්බයකට ආදරය කළේ ඇයි, අනේ මට තේරෙන්නේ නෑ ඕවා. මම දන්න දෙයක් තමයි මිනිස්සු ඇත්තටම ආදරය කළේ අහම්බවලට කියන එක. මිනිස්සු වැඩිපුරම සැලසුම් හැදුවෙත් අහම්බ ගැන. ඒ ඒවා අහම්බ කියලා දන්නේ නැති නිසා වෙන්න ඇති.


මම මගේ මගේ මතක පොතේ සුවඳම පිටුවේ මාරියාට කවියක් ලියලා ඊට උඩින් මෙහෙම ලිව්වා,

"අහම්බයකට ආදරය කරාට කමක් නෑ හැබැයි හදවතින්. ඇත්තම, අහම්බයක් ලස්සන අහම්බයක් විදියට ම තියෙද්දි."




කතාව - සදෙව් ලියනගේ

2026 Saloli2048 — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!