එක්දාස් නවසිය අනූව දශකයේදී පිදුරුතලාගල කදු පන්තිය පාමුල වූ මන්දාරම් නුවර ගම්මානයේ තරුණයන් සහ වැඩිහිටියන් එකතුව ගම අවට වූ ජල පහරවල් හරස් කොට කුඩා විදුලි ජනක යන්ත්‍ර වලින් විදුලිය උත්පාදනය කර තම නිවෙස් විදුලි බුබුලු දෙක තුනකින් ආලෝකය කර ගැන්මට සමත් වුනත් ජල පහරවල් වල ජලය සිඳී යන කාලවල් වල නැවතත් ඔවුන්ට කුප්පි ලාම්පුවල පිහිට පැතීමට සිදු විය උදෑසන හිරු කිරණ ගමට බොහෝ පමා වී වැටී සවස් වන විට ගම්මානය අදුරේ ගිලී ගියේ දවසේ වැඩි කාලයක් ගම්මානයේ මිනිසුන්ව අදුරට හුරු කරමින්ය තෙත බරිත පරිසරය ඝන මීදුම නිතරම වහින්නට බලා සිටින බුම්මාගත් අලු පැහැති අහස ගම මැද පිහිටි ඉපැරණි විශාල ගොරකා ගස ගමට පිටතින් පැමිණෙන්නන් හට ගුප්ත හැඟීමක් එක කලහ.
මන්දාරම්නුවර ගම මැද වූ ඉපැරණි විශාල ගොරකා ගසට දකුණු පසට මීටර් පනහක් පමණ දුරින් හේරත්හාමිගේ නිවස පිහිටියේය හේරත්හාමිට සිටියේ එකම පුත්‍රයෙකි ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයෙක් වූ සෙනරත් යාපාය. සෙනරත් යාපාගේ බිරිදගේ නම වූයේ මනෝරි නිසංසලා වූ අතර ඔවුන් දෙපලට අවුරුදු දහයක් වයසැති පුතෙකුත් අවුරුදු පහක් වයසැති දියණියකුත් සිටි අතර හේරත්හාමි තනිව මන්දාරම්නුවර වාසය කලේය හේරත්හාමිගේ බිරිද මීට දශකයකට පමණ පෙර මියපරලොව ගොස් සිටියාය අවුරුදු හැත්තෑවක් පමණ වයසැති හේරත් හාමි දින කිහිපයකට පෙර උන රෝගයෙන් පෙලී සිටි නිසා උන රෝගය සුව උනත් උයාපිහා ගැන්මටවත් ශරීරශක්තියක් නොමැති බව දුටු අසල්වැසියෙක් සෙනරත්යාපාට ටෙලිග්‍රෑම් පණිවිඩයක් එව්වේ හේරත්හාමිගේ බලවත් අකමැත්ත පිටය මන්දයත් තම පුත්‍රයාට බරක් වීමට හේරත් හාමි නොසතුටු වූයේය.
මතු සම්බන්ධයි
දෙවන කොටස
ටෙලිග්‍රෑම් පණිවිඩය ලැබුන පසු දිනම සති දෙකක නිවාඩුවක් අනුමත කරගෙන සෙනරත්යාපා තම බිරිද සහ දරු දෙදෙනා සමග ඔහුගේ ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයට නැගී මන්දාරම්නුවර බලා උදෑසනම පිටත් විය පැය නවයකටත් වඩා අති දුෂ්කර ගමනකින් පසු සෙනරත් යාපා ඔහුගේ බිරිද සහ දරුවන් මන්දාරම්නුවර ගම්මානයට ලගාවන විට අතිශයෙන් වෙහෙසට පත්ව සිටියහ. නිවස අසලට රථයෙන් යාමට නොහැකි නිසා ජීප්රථය ඉපැරණි ගොරකා ගස ට මදක් දුරින් නැවැත්වූ නිසා සෙනරත්යාපා දෙස බලා ඔහුගේ බිරිද මෙලෙස විමසුවා.
" ඇයි අනේ මෙච්චර දුරින් නැවැත්තුවේ අර ගොරකා ගහ ලග ඉඩ තියෙනවනේ එතනට වෙනකන් යන්නකෝ "
" මනෝරී හොදට මතක තියාගන්න අපි මේ ගමේ ඉන්නකන් ලමයිවවත් ඔයාවත් ඔය ගොරකා ගහ ගාවට යන්න එපා "
එවිට සෙනරත්යාපා එලෙස පැවසුවේය.
" සෙනේ ඔයා කවදා ඉදන්ද ගොරකා ගස් වලට බය වුනේ හිහ්...හිහ්.."
සිනාසෙමින් මනෝරි සෙනරත් දෙස බලා එලෙස පැවසුවාය.
" හේතුව දන්නෙ නෑ ගමේ අය ඔය ගොරකා ගහ ලගට කිසිම කෙනෙකුට යාම තහනම් කරලා තියෙන්නෙ සමහර විට අපේ තාත්තා දන්නව ඇති හේතුව මම පොඩි කාලෙ ඕක ගැන ඇහුවත් තාත්තා මට කිව්වෙ නෑ ඊට පස්සෙ මම ඇහුවෙත් නෑ ගොරකා ගහ ලගට ගියෙත් නෑ අපි සති දෙකක් ඉන්නවනේ නිවාඩුව තාත්තාගෙන් අහලා බලමු "
එලෙස සෙනරත්යාපා පැවසුවේය
" හැම ගමකම ඔහොම මිත්‍යා දෘෂ්ටික කතා තියෙනවා තමා අනේ මන්දා මට පුදුම මෙච්චර උගත් ඔයත් මේ දේවල් විශ්වාස කරන එක "
එලෙස පවසමින් මනෝරි රථයේ දොර විවර කර පිටතට පැමිණියාය ඒත් සමගම ඇයව අනුගමනය කරමින් දරු දෙදෙනාද රථයෙන් පිටතට පැමිණියහ.
" තාත්තේ අර බලන්නකෝ අර අර අතන "
සිඟිති දියණිය සුරතල් හඩින් දෑස් විසල් කරමින් සිය දකුණත දිගු කර ගොරකා ගසේ පාමුල සෙනරත්යාපා හට පෙන්වමින් එලෙස කෑ ගැසුවාය. ක්ෂණිකව ගොරකා ගස දෙස බැලූ සෙනරතට දක්නට ලැබුනේ ගස පාමුල ගසට හා වන ලෙස තදින් බැඳ දමා තිබූ රෙදි බෝනික්කියක්වය කුඩා කල සිට සෙනරත්ට ගොරකා ගසේ බැඳ තිබෙන බෝනික්කිය දැක පුරුදු වුවත් පලමු වතාවට ගමට ආ දියණියට එය අරුමයක් වූ බව සෙනරත් හට වැට හින
" ඇයි තාත්තේ එයාව බැඳලා තියෙන්නේ අනේ පව් නේද?"
දියණිය දුක්මුසු බැල්මක් ගසේ බැඳ තිබෙන බෝනික්කියට හෙලා එලෙස පැවසුවාය.
" එයාව බලන්නද අපි ආවේ අපි ආවේ සීයාව බලන්න එන්න ඉක්මනට ආන්න සීයා ගෙදරට වෙලා අපි දිහා බලන් ඉන්නවා "
මනෝරී එලෙස පවසමින් දියණියව වඩා ගෙන නිවස දෙසට ගමන් කලාය නමුත් සෙනරත්ගේ දෑසට හසු වූයේ තම සිඟිති දියණිය පසු පස හැරී තවමත් සිය දෙනෙත් විදහාගෙන ගසේ බැඳ දමා තිබෙන බෝනික්කිය දෙසම බලා සිටින අන්දමය .
නිවසට පැමිණෙන තම පුත්‍රයාව සහ ඔහුගේ පවුල පිලිගැන්මට හේරත්හාමී සිය දුබල ශරීරය දෙපා වාරුවෙන් අපහසුවෙන් ඔසවගෙන නිවසේ දොරකඩට විත් බලා සිටියේ මද සිනාවක් මුවේ රුවාගෙනය.
" මම කිව්වත් එක්ක අර සෝමසිරියට පුතාට පණිවිඩ අරින්න එපාය කියලා මේ ඇඟේ අමාරුව ටික දවසකින් අඩු වේවි කියලා කොහෙද ඒකා කණකට අරන් නෑනෙ "
නිවසට ගොඩ වන විටම සෙනරත් හට හේරත්හාමි එලෙස පැවසුවේය
මතුසම්බන්ධයි
03
" නෑ නෑ තාත්තේ අපි කොහොමටත් මෙහෙ එන්න හිටියේ ඊටත් තාත්තාට අසනීප වුනාම මම නෑවිත් වෙන කවුරු එන්නද "
" කොහෙද තාත්තාට අපි කොච්චර කිව්වත් ගම්පහ එන්න කියලා කෝ එන්නෙ නෑනෙ "
මනෝරි නෝක්කාඩුවෙන් පැවසුවාය.
" අනේ බෑ දරුවෝ මගේ මුලු ජීවිතේම ගෙවුනේ මේ ගමේ නගර වල කලබල කාරී පරිසරයට ගිහින් ජීවත් වෙන්න මට හිත හදාගන්න බෑ මම මෙහෙම ඉන්නම් "
හේරත්හාමි මනෝරි දෙස බලා එලෙස පැවසුවේය පසුව මනෝරි විසින් ඉක්මණින් කෑම සකස් කල නිසා සියල්ලෝම කෑම කා නින්දට වැටුනේ අදික තෙහෙට්ටුව නිසාමය මැදියම් රාත්‍රියේ එක්වරම කිසියම් හේතුවකට තිගැස්සී පිබිදුණ සෙනරත් දුටුවේ තම කුඩා දියණිය ඇඳේ වාඩි වී ජනේලයේ වීදුරු අතරින් බොඳ වී පෙනෙන ගොරකා ගස දෙසම බලා සිටින අන්දමය සෙනරත් හෙමීට නැගිට තම දියණියගේ උරහිස මෘදු අල්ලා ගත්තේය ඒත් සමග දියණිය තිගැස්සී සෙනරත් දෙස බලා මෙලෙස පැවසුවාය.
" තාත්තේ ඒ..ඒ බෝනික්කා ම..මට කතා කරනවා "
" නෑ පැටියෝ ඔයා හීනයක් දැකලා කෝ එන්නකෝ මට තුරුල් වෙලා දොයියන්න එතකොට කවුරුවත් ඔයාට කතා කරන්නෙ නෑ"
සෙනරත් එලෙස පවසා තම සිගිති දියණියව සෙනෙහසින් තුරුල් කරගත්තේය ඒ වන විට මනෝරි තදින් නින්දට වැටී සිටියාය පපුවේ උණුසුමට තුරුල්ව සිටි දියණිය නොබෝ වේලාවක් යන්නට මත්තෙන් තදින් නින්දට වැටුනත් සෙනරත් හට කුඩා දියණිය නින්දෙන් මෙවැන්නක් පවසනවා ඇසින.
"එයා එනවා..එයා..එයා එනවා එයා ආපහු සැරයක් එනවා.."
පසු දින උදෑසන හයට පමණ අවදි වූ සෙනරත් යාපා හට මුලුතැන් ගෙයින් කිසිදු හඬක් නොආවාය වෙනදාට මේ වන විට මනෝරි අවදි වී නිවසේ මුලුතැන් ගෙයි හී වැඩ පල කරනා හඬ සමග කිරි තේ වලින් හමනා සුවඳ නිදන කාමරයට පවා ඇදී ආවත් මෙදින සිදුවන විපර්යාසය නිරීක්ෂණය කිරීමට සෙනරත් නිදන ඇඳෙන් බැස මේ වන විටත් සුව සේ නිදනා දරු දෙදෙනා දෙසද මොහොතක් බලා මුලු තැන් ගේ දෙසට ගමන් කලාය .
""මනෝරී ..! මනෝරී..!""
තම බිරිද මුලුතැන් ගෙයිත් නොසිටි නිසා සෙනරත් ඇගේ නම කියා උස් හඩින් කතා කලත් ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන තැන සෙනරත් නිවස පිටු පසට යන දොර ඇර ගෙන නිවසෙන් පිටතට පා නැගීය මන්දාරම්නුවරට හිරු පායා ඒමට තවත් බොහෝ වෙලාවක් තිබූ නිසා ඒ වන විටත් මුලු ගම්මානයම මද අදුරේ ගිලී තිබිණ .
නිවසෙන් පිටතට බට සෙනරත්ට නිවස පිටුපස ගල් තලාව මත සිට ඉපැරණි ගොරකා ගස දෙස බලා සිටින මනෝරිව දක්නට ලැබිණ ඇගේ වරලස මුදා හැර ගල් පිලිමයක් පරිද්දෙන් නොසෙල් වී ඕ ගොරකා ගස දෙසම බලා සිටියා සෙනරත් සෙමින් සෙමින් ඔහුට පිටු පා සිටින මනෝරි අසලට ගොස් ඇයට කතා කලේය නමුත් මනෝරි වශීකෘත වූවාක් මෙන් අවට සිදුවන කිසිවක් ගැන තැකීමක් නොකොට ගොරකා ගස දෙසම බලා සිටීම සෙනරත්ගේ සිතට යම් නොරිස්සුම් ස්වභාවයක් ගෙන ආවේය එනිසාම ඔහු එක්වරම තම දකුණත මනෝරිගේ උරහිසට තබා වැරෙන් සෙලවූවේය .
මතු සම්බන්ධයි
04
""" උහී..හාහ්.හ්.."""
සෙනරත්ගේ සෙලවීමත් සමග උගුර යටින් ඇසුන ශබ්දයක් සමග මනෝරී තිගැස්සී සෙනරත් දෙස බැලුවේ භයානක සිහිනයක් දැක එකවර පිබිදුණ අයෙකුගේ ඉරියව් ප්‍රකට කරමින්ය.
"ඔහ් මම බය වුනා ඔයා ඇහැරුනාද මට මේ පැත්තෙන් සද්දයක් ආවා ඒක බලන්න කියලා ආවේ ආහ්.. මට තේ හදන්නත් බැරි වුනා උයන්නත් ඕනේ ඔයා මූණ හෝදගන්නකෝ මම ඉක්මණට තේ හදන්නම් "
මවාගත් වියලි සිනහවක් පෑ මනෝරී සෙනරත් හට එලෙස පවසා මුලුතැන් ගේ දෙසට ගමන් කලාය. සෙනරත්ද මොහොතක් ගොරකා ගස දෙස උදාසීන බැල්මක් හෙලා මුහුණ සේදීම සදහා නිවස අසලින් ගලන කුඩා දොල පහර වෙත ගමන් කලේය මුහුණ සෝදාගෙන සෙනරත් නිවසට පැමිණෙන විට ගෙතුලින් හැමූ කිරි තේ සුවඳින් ඔහුගේ නාසය පිරී ගියේ ගත ප්රෝදමත් කරමිනි මනෝරී සෙනරත්ගේ අතට ඔහුගේ කිරි තේ කෝප්පය දිගු කර ඔහු එය අතට ගත්තාට පසු නැවත උදෑසන ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේ නියලීමට පටන් ගත්තාය .
සෙනරත් කිරි තේ එකද රැගෙන තම පියාගේ කාමරය වෙත ගමන් කලාය ඒ වන විට ඔහුගේ පියා හට මනෝරි තේ පැන් සදා දී තිබූ අතර ඔහු ඇඳ මත වාඩි වී මද රස්නෙන් හෙබි තේ කෝප්පය පානය කරමින් සිටියේය සෙනරත් තම පියාගේ කාමරයට ඇතුල් වී එතුල වූ පුටුවකින් වාඩි වී තම පියාගෙන් මෙලෙස විමසුවේය.
" තාත්තේ මම පොඩි කාලෙ ඇහුවට තාත්තා කිව්වෙ නැති කතාවක් තියෙනවා "
" ඒ මොකක්ද පුතා "
" තාත්තේ ඇයි අර ගොරකා ගහේ බෝනික්කියක්ව බැඳලා තියෙන්නේ ඇයි ගමේ අය ඔය ගොරකා ගහට ඔච්චරටම බය "
හේරත් හාමි තම පුත්‍රයා දෙස විනාඩි කිහිපයක් බලා සිට මදක් කල්පනා බරව සිටියේය .කල්පනා බරව සිටින හේරත්හාමි ගේ මුහුණේ වූ හැඟීම් දැක සෙනරත්ට සිතුනේ තම පියාට කීමට ඇති කතාව කොතනින් පටන් ගන්නවාද කොතනින් ඉවර කරනවාද කියා නිනව්වක් නොමැති බවකුයි නිහඩව ගලා ගිය විනාඩි කිහිපයෙන් පසු නිහඬතාවය බිඳහැර මහලු හේරත් හාමීගේ ගැඹුරු කට හඬ අවදි විය.
" මට මතකයි ඒ සිද්ධිය වුනේ මීට අවුරුදු හැට පහකට විතර කලිනුයි එතකොට මම පොඩි කොල්ලෙක් එදා අමාවක දවසක් චුරු චුරු වැස්සක් උදේ ඉදන් වැටුනා හවස් වෙනකොට වැස්ස තුරල් කරනවාත් එක්කම ගමට ආවා මහා අමුතුම හිනාවක් තියෙන වයස අවුරුදු හතලිහක විතර ගෑණු කෙනෙක් ගෑණිගේ ඔලුවේ තිබුණා ලොකු පොට්ටනියක් ඒ ගෑණි ගමේ කිසිම කෙනෙක් එක්ක කතාවක් බහක් නැතුව ගිහින් අර ජාකෝලිස්ගේ අත ඇරලා තියෙන ගරා වැටුණු ගෙදරට ගිහින් පදිංචි වුනා ඒ ගෑණි කොහෙන් ආවද කාගෙ කවුද කියලා ගමේ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ ඒ වගේම ඒ ගෑණි ජාකෝලිස් ගේ පාලු ගෙදරට වෙලා මොනවා කෑවද මොනවා බිව්වද මොනවා කෙරුවද කියලා කි සිම කෙනෙක් දැකලා නෑ
මතු සම්බන්ධයි
05
.ඒ ගෑණු කෙනා ගමට ඇවිත් සතියක් ගත වෙනකොට ගමේ හිටිය අවුරුදු පහේ දරුවෝ හත් දෙනෙක් එක පාරටම අසනීප වෙලා පහුවදාම මැරුණා ඒ ලමයි දිහා ලෙඩ වෙන්න කලින් අර ගමට ආපු ගෑණු කෙනා මහා අමුතු විදිහට බලන් ඉදලා තියෙනවා ගමේ කීප දෙනෙක් දැකලා තියෙනවා
ඊට පස්සේ ගමේ රාවයක් ගියා අර ගමට ආව ගෑණු කෙනාගේ ඇස්වහ වැදිලා තමා ලමයි මැරුනේ කියලා ගමේ හිටිය වැඩිහිටි පිරිමි පොලු අරගෙන ජාකෝලිස්ගේ පාලු ගෙදරට පැනලා අර ගෑණු කෙනාට හොදටම ගැහුවා ඇඟ පත තැලිලී හම පුපුරලා මුලු ඇඟ පුරා ලේ ගැලුවත් අර ගෑණි මොකුත් කිව්වේ නෑ ලමයිගේ මරණ වලට වැරදිකාරි කියලා කිව්වෙත් නෑ වැරදිකාරී නොවේ කියලා කිව්වෙත් නෑ ඒ ගෑණි කෙරුවේ එකම දෙයයි පොලු අරගෙන වියරු වැටිල ඒ ගෑණි වටේට හිටිය අය දිහා ඇස් ලොකු කරන් බලන් හිටිය එක විතරයි ඒ ගෑණිගේ මූණෙන් ඇස් වලින් කියවුනේ උඹලා මට ඕන දෙයක් කරපල්ලා ඒත් මම මොකුත් කියන් නෑ උඹල ඔක්කොම විනාශ කරනවා වගේ දෙයකුයි.
ඔන්න ඔය අතරේ තමා මාතුපාල ඔතනට ආවේ යකඩ පොල්ලකුත් අරගෙන මාරාවේශ වෙලා එතනට කඩා වැදුන මාතු පාල දෑත බදලා යකඩ පොල්ලෙන් අර ගෑණිගේ ඔලුවට ගැහුවා ඒත් එක්කම ඒ ගෑණි උඩු බැලි අතට බිමට ඇදගෙන වැටුනා ටික වෙලාවක් ගැහි ගැහී උගුර යටින් ගොර ගොර ශබ්දයක් නගල ඒ ගැණි එකපාරටම ලොකු හුස්මක් පිටකරලා නිහඩ උනා.
" අවුරුදු ගාණක් පන්සල් දේවාල වලට බඩ ගාල වෙදකම් කරලා හම්බ උන එකම දරුවට කරදඩු උස්මහත් වෙනකන්වත් ජීවත් වෙන්ඩ නොදුන්න යක්ෂණී ... ක්රාහ්..තුහ්: "
මාතුපාල එහෙම කියලා ඇස් ගෙඩි ලොකු කරන් මැරිල වැටිල හිටිය ගෑණිගේ ඇඟට කාරලා කෙල ගැහුවා පස්සේ එතන හිටිය උදවිය එතනම වලක් කපලා ඒ ගෑණිව වල දාල ගෙවල් වලට යන්න හදනකොටම දැක්කා ගෑණිව වල දාපු තැන පස් හෙලවෙනවා ඒක මහා පුදුම සිද්දියක් හැමෝම ගෙවල් වලට යන්නෙ නැතුව බලන් හිටියා මොකද වෙන්නෙ කියලා ටික වෙලාවක් පස හෙලවෙලා එක පාරටම අර ගෑණිගේ අතක් පස් දෙපැත්තට කරගෙන එලියට ආවා ඊලගට අනිත් අත ඒක එලියට එනවත් එක්කම පොලවේ පස් අවුස්සගෙන ආපහු අර ගෑණි මතු වුනා . යකඩ පොල්ලෙන් ගහලා පස්වල යට කෙරුවත් ඒ ගෑණි මැරිලා නෑ ඒක දැකපු මාතු පාල යක්ෂාවේශ වෙලා එතන තිබුණු උදලු කෙටියකින් ඒ ගෑණිගේ ඔලුව කුඩු පට්ටන් වෙනකන් ඔලුවට උදැල්ලෙන් ගැහුවා පස්සෙ ගෑණි බිම ඇදගෙන වැටුණ ඒත් ඔලුව කුඩු වෙලා ඔලු කටු එලියට පැනලා ලේ බේරෙද්දිත් ඒ ගෑණිට යාන්තමට පණ තිබුණා අමාරුවෙන් හුස්ම උඩට පහලට ගත්ත ගෑණි ඇස්ලොකු කරන් ඇස් බෝල එහෙට මෙහෙට කර කරා ගමේ අය හැමෝම දිහා මහා වෛරයකින් බලන් හිටියේ මොන මොනවාදෝ තොල් මතුරමිනුයි පස්සේ එතන හිටිය උදවිය අර වල තවත් ජඹුරට කපලා ගෑණිව පණ පිටින් ඇතුලට දාල පස් දාල වහලා එතන අඩි තුනක් විතර උස ගොරකා පැලයක් හිටෙව්වා ඒ හැම දේම කරලා ඉවර වුනත් එක්කම එක පාරටම මුලු අහසම කලු කරලා අකුණු ගහමින් තද වැස්සක් පටන් ගත්තා ඒ භයාණක අකුණු ගස් අඹරගෙන හමපු හුලං තද වැස්ස මේ දේවල් නිසා ගමේ අය හිතුවා ඒ ගෑණිගේ ශාපය ගමට වැදුනා කියලා ශාපය කොහොම වෙතත් ගමේ හැමෝම මේ ගොරකා ගහ ලගදී බය වෙන්න පටන් ගත්ත විතරක් නෙමේ අර ගෑණගේ ආත්මේ ගමේ අයව ලෙඩ කරවන්න ගත්තා පස්සේ බැරිම තැන ගමේ රංකිරා ගුරුන්නාන්සේ ඔය ගොරකා ගහ ලඟ මහා තොවිලයක් කරලා ගෑණිගේ ආත්මේ බෝණික්කියකට ඇතුල් කරලා ගොරකා ගහේ බැඳ දැම්මා හැබැයි ගුරුන්නාන්සේ කිව්වා මේක විනාශ කිරීමක් නෙමේ බැඳ දැමිමක් නිසා සෑම අවුරුදු දහයකට සැරයක් යක්ෂ බණ්ධනේ අලුත් කරලා බෝණික්කිව මාරු කරලා අලුත් බෝණික්කියෙකුට ආත්මය මාරු කරලා ගහේ බඳින්න ඕනෙ කියලා ඉතිං ඒ කිව්වා වගේම ගුරුන්නාන්සේ මැරෙනකන්ම ඒක ඉෂ්ට කෙරුවා හැබැයි රංකිරා ගුරුන්නාන්සෙ මැරිලා දැන් අවුරුදු දහයත් ඉවර වුනා ගමේ පරණ උදවිය නැති නිසා ගමේ අලුත් උදවිය දන්නේ නැති නිසා තාම ආත්මය මාරු කරලා අලුත් බෝණික්කියක්ව ගහේ බැන්ඳේ නෑ තාම ඉන්නේ පරණ බෝනික්කී බැරි වෙලාවත් ඔය බෝනික්කී ගහෙන් අතුරු දහන් වෙලා හිටියොත් ඒ කියන්නේ මුලු ගමේම අසානෙ තමා "
" නෑ තාත්තේ තාම ඒ බෝණික්කී ගහට තියලා ගැට ගහලා තියෙන්නේ මම ඊයෙ උදෙත් දැක්කා "
සෙනරත් පැවසුවේය .
" දෙවියන්ගේ පිහිටාරක්ෂාවෙන් ඒක ඒ විදිහටම තිබුණොත් ඇති "
හේරත්හාමි එලෙස පවසා පානය කර අවසන් වූ තේ කෝප්පය පසෙකින් තබා තම නිදි යහන මත දිගා වුනේය . තම පියාට විවේක ගැනීමට ඉඩහසර සලසා සෙනරත් හෙමීට නිවසෙන් පිටතට පැමිණ ගොරකා ගස දෙසට පා නගන්නට වූයේය ගොරකා ගසට මීටර් දහයක පමණ දුරක් තබා නැවතුණ සෙනරත් සිය විමසිලිමත් දෑස ගොරකා ගස පාමුලට යොමු කලේය ඒත් සමග දුටු දෙයින් සෙනරත්ගේ හෘද ස්පන්දනය වේගවත්වී දෑස් මරණීය භීතියකින් විසල් වූයේය.
ගොරකා ගසේ බැඳ දමා සිටි බෝනික්කිය ඒ වන විට අතුරුදහන්ව සිටිනු සෙනරත්ගේ භීතිය පිරුණු නෙතට දිස් වූයේය ඒත් සමගම ගොරකා ගහ යට තිබූ අඳුරේ සිට කිසිවෙක් තමා දෙස බලා සිටින්නාක් මෙන් හැඟීමක් සෙනරත්ට දැනින අවට පරිසරයේ හමා ගිය සීතල සුලං රැල්ලේ අප්‍රිය ජනක කුණු ගඳක් හමා ගිය හෙයින් සෙනරත් තම දකුණතේ ඇඟිලි තුඩු අගින් තදින් නාසය වසා ගෙන ඉක්මන් ගමනින් සිය නිවස කරා ගමන් කලේය.
නිවසට ගොඩ වන විටම සෙනරත් දුටුවේ දරුවන් දෙදෙනා අවදිව සිටින බවයි වැඩිමහල් දරුවා වූ මතීශ පොතක් කියවමින් සිටි අතර දියණිය නිවසේ පෝටිකෝවේ කෙලවරට වී තනිවම කතා කරමින් සිටිනවා දැක සෙනරත් දියණිය අසලට ගමන් කර ඇගේ හිස සෙනෙහසින් පිරිමැද මෙලෙස විමසුවේය.
" කා එක්කද මගේ දූ කතා කරන්නේ කියන්නකෝ "
" මේ මෙතන ඉන්න නැන්දා එක්ක එයා දැන් මගෙ යාලුවෙක් පව් තාත්තේ නැන්දාට හරියට සීතලයිලු" දියණිය සෙනරත් දෙස බලා එලෙස පැවසුවාය.
සෙනරත් දියණිය අත දිගුකර පෙන්වූ ස්ථානය දෙස බලා නැවත දියණිය දෙස බැලුවේ සැකය හා බිය මිශ්‍ර හැඟීමෙන්ය " කෝ දූ මෙතන කවුරුත් නෑනේ මොකක්ද ඒ නැන්දගේ නම කිව්වේ " සෙනරත් දියණියගෙන් එලෙස විමසුවේය.
" තාත්තාට පේන්නෙ නැද්ද එයාව ඒත් මට පේනවනේ එයා කියනවා එයා කැමති අයට විතරයි එයාව පේන්නෙ කියලා එයාගෙ නම කියන්න බැරිලු හුඟ කාලෙක ඉඳල නැන්දා බඩගින්නෙලු ඉන්නේ " දියණිය සුරතල් ලෙස හිස ඇලකොට සෙනරත් දෙස බලා එලෙස පැවසුවාය.
" මනෝරී මනෝරී " සෙනරත් උස්හඩින් තම බිරිද ඇමතුවේය සෙනරත්ගේ කටහඩේ යම් දෙයකට බියවූ පුද්ගලයෙකුගේ වූ සැලෙන වෙව්ලුම් ස්වරය තිබිණි
" මොකද අනේ මේ කෑ ගහන්නේ " මනෝරි එසැනින් සෙනරත් වෙත පැමිණ විමසුවාය
" මොකද කි..කියන්නේ මේ ලමයා කා එක්කද කතා කරනවා ඔයාට පේන් නැද්ද"
සෙනරත් තම දියණිය දෙසට අත දිගු කර පෙන්වමින් පැවසුවේය. එවිට මද සිනාවක් හෙලූ මනෝරි මෙලෙස පිලිතුරු දුන්නාය.
" ඔයා හැමදාම උදේ පාන්දර ඉස්කෝලෙට උගන්වන්න යනවා නිවාඩු දවස්වලට ටියුෂන් දෙන්න යනවා ඉතින් ඔයා කවදා දකින්නද ඔය ලමයා ඔහොම තමා තනියම කතා කර කර තමා සෙල්ලම් කරන්නේ "එසේ පවසා මනෝරි නැවත මුලුතැන් ගේ දෙසට ගමන් කලාය සෙනරත් තම දියණිය පෙනෙන මානයේ වාඩි වී දියණිය දෙසට තම විමසුම් දෙනෙත් හෙලාගෙන බලා සිටියේ ඔහුට යම් අවිනිශ්චිත බියක් සිත පෙලන්නට වූ හෙයිනි.
තමා ඉදිරියේ සිටින අයෙකුට කතා කරන පරිද්දෙන් සුරතල් ලෙස සිනා සෙමින් සිටින දියණිය ගැන මහා බියක් සෙනරත්ගේ පපුව පුරා රිදුම් දෙන්නට වූ හෙයින් දියණිය කතා කරනා දේවල් නෑසෙන මානයක සිටි නිසා සෙනරත් තම වැඩිමහල් පුත්‍රයාට හිසෙන් ඔහු අසලට පැමිණෙන ලෙස සංඥා කර පුත්‍රයා පැමිණි විට සෙනරත් ඔහුගේ කණට කර රහසින් මෙලෙස පැවසුවේය.
" පුතා නංගි ඉන්න තැනට ගිහින් එයා කරන්නෙ කතා කරන්නෙ මොනවද කියලා අහගෙන එන්න"
කියූ සැනින් ඇසිල්ලකින් වැඩිමහල් දරුවා කුඩා දියණිය අසලට දිව ගියේය ඉන්පසු සෙනරත් දුටුවේ දරුවන් දෙදෙනා මොන මොනවාදෝ කතා කරමින් සිටින අන්දමත් දියණිය ඇය ඉදිරිපිට සිටින නොපෙනෙන අයෙකුව තම සහෝදරයා හට පෙන්වීමට අත දිගු කරනා අන්ධමත් ඒ සමගම වැඩිමහල් දරුවාගේ මුහුණේ ඉරියව් වෙනස් වී ඔහු බියට පත්ව වරින් වර සෙනරත් දෙස බලනා අන්දමත්ය සෙනරත් අතින් සංඥා කොට වැඩිමහල් දරුවගෙන් ප්‍රශ්නයක්ද කියා ඇසුවත් වැඩිමහල් දරුවා තම අතින් සන් කොට කීවේ පසුව පවසන බවකුයි එම නිසා සෙනරත් දරුවන් දෙදෙනාගේ කතාව නිම වී වැඩිමහල් දරුවා තමා අසලට එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය.
"තාත්තේ නංගි කියනවා එයා ඉස්සරහා නැන්ද කෙනෙක් ඉන්නවලු අවුරුදු හැට පහකට පස්සෙලු එයා ආපහු ඇවිත් ඉන්නෙ ඒ නැන්දට සීතලයිලු එයා ඉන්නෙ අර ගොරකා ගහ යටලු" දියණිය සමග කතා කල වැඩිමහල් දරුවා සෙනරත් අසලට පැමිණ එලෙස පැවසුවේය ඒ කතාව ඇසී දෙපතුලෙන් පටන් ගෙන මුලු ශරීරය පුරා සිහින් විදුලි සැරයක් ගලා ගියාක් මෙන් හැගීමක් සෙනරත්ට ඇති විය " පුතා මේ මොකවත් අම්මට කියන්න එපා හොදද දැන් ගිහින් පොතක් පාඩම් කරගන්නකෝ " සෙනරත් තම වැඩිමහල් දරුවාට එලෙස පැවසුවේය.
යම් භයානක සිදුවීමකට සිය පවුලට මුහුණ දීමට සිදුවන බව ඉවෙන් මෙන් සෙනරත්ට වැටහුණත් එයට මුහුණ දෙන්නේ කෙසේද කියා සෙනරත් හට වැටහීමක් තිබුණේ නැත කෙසේ හෝ කල්පනා බරව දවස ගත කොට නින්දට ගිය සෙනරත්ට මැදියම් රෑ දොලහේ කණිසමට තිගැස්සී ඇහැරින වට පිට බැලූ විට දරු දෙදෙනා ඇඳ මත සිටියත් මනෝරි දක්නට නොලැබුණාය නමුත් අනෙක් කාමරයෙන් කිසිවෙක් තම හිස පනාවකින් තදින් පීරන විට එන සියුම් ශබ්දයට සමාන ශබ්දයක් ආ නිසා සෙනරත් හෙමීට නිවසේ ඔවුන් නිදා සිටි කාමරයට අල්ලපු අනෙක් කාමරය වෙත ගොස් එහි දොර සෙමින් විවර කලේය කාමරය තුලට පිවිසි සෙනරත්ට දක්නට ලැබුනේ ඔහුට පිටු පා කණ්නාඩි මේසය දෙස බලාන හිස පීරන මනෝරිවය.
" මනෝරී ..මනෝරී මොකද මේ මහ රෑ කොණ්ඩෙ පීරන්නෙ"
එලෙස අසමින් සෙනරත් ඇගේ උරහිස මතින් අත තැබීය ඒත් සමග මනෝරී හෙමීට ඔහු දෙස හැරී බැලුවාය ඒත් සමග තිගැස්සුන සෙනරත් ක්ෂණිකව අත ඉවතට ගත්තේය මන්ද යත් මනෝරිගේ දෑස් තද රතු පැහැයට හැරී මුහුණේ අමුතුම භයානයක වියරු සිනහවක් විය එක්වරම මනෝරී වාඩි වී සිටි තැනින් නැගිට සෙමෙන් සෙමෙන් සෙනරත් දෙසට ලං වන්නට වූවාය භීතියෙන් භීතියට පත් සෙනරත්ගේ දෑස එක්වරම කණ්නාඩි මේසයේ දර්පණය වෙත යැවුණු අතර ඔහු දුටුවේ මනෝරි දර්පණයට පිටු පා තමා වෙත ආවත් දර්පණයේ වූ මනෝරිගේ රුව තවමත් වියරු බැල්මක් හෙලාගෙන තමා දෙස බලා සිටින අන්දමය මෙයින් අන්ද මන්ද වුන සෙනරත් වහා නිදන කාමරයට දිව ආවේය නිදන කාමරයට විත් බලන විට මනෝරි දරුවන් සමග සුව නින්දක වැටී ඇති බව සෙනරත්ට දක්නට ලැබිණ එම දර්ශනය දැක සෙනරත්ගේ දෙපා සහ ශරීරය වෙව්ලා දහඩිය දමන්නට විය .
දඇනු අධික භීතිය හේතුවෙන් සෙනරත් හට නිදිවර්ජිතව රැය ගෙවුනත් පාන්දර වන විට සුලු මොහොතකට ඔහුට නින්ද ගියේය. නමුත් එක්වරම හේ යලිත් අවදි විය ඇඳ මත මනෝරී පෙනෙන්නට නොවූ නිසා මුලුතැන් ගේ දෙසට ගිය සෙනරත්ට ඔහුට පිටු පා ජනේලයකින් වරලස මුදා හැරගෙන පිටත පරිසරයේ අඳුර දෙස බලා සිටින මනෝරිව දක්නට ලැබිණ " මනෝරී මනෝරී "
සෙනරත් දෙවරක් මනෝරි හට කතා කලත් ඇය නෑසුනාක් මෙන් සිටින නිසා ඔහු හෙමීට තම සැලෙන දකුණත ඉදිරියට කලේ මනෝරිගේ උරහිස අල්ලා ගැනීමට සිතායි නමුත් ක්ෂණිකව පිටුපස හැරුණු මනෝරි දැක සෙනරත්ට ඉබේටම කෑ ගැසින මනෝරිගේ ඇස් මත කලු ඉංගිරියා නොමැතිව දෑස් සුදු පැහැතිව තිබිණි පෙර දින රාත්‍රියේ සිටි ආකාරයටම මහා භයාණක වියරු සිනාවක් පාමින් මනෝරි සෙනරත්ගේ ගෙල ඇගේ දෑත් වලින් අල්ලාගැනීමට දෑත් දිගුකරගෙන හෙමි හෙමින් ඉදිරියට ආවාය ඒත් සමගම සෙනරත්ට දැනුන භීතිය නිසාම ඔහු මනෝරිගේ දකුණු කම්මුල වෙත දැඩි අතුල් පහරක් එල්ල කලේය ඒත් සමගම මනෝරි සිහි උන්ව ඇද වැටින.
මනෝරිව ඇඳට ඔසවගෙන ගොස් ඇගේ මුහුණට ජලය ස්වල්පයක් ඉස පවන් සලනට විට ක්‍රමයෙන් මනෝරි ප්‍රකුර්ති සිහියට එලඹින " මට මොනවා උනාද මම..මම කුස්සියට යනකොට එක පාරටම මට මගේ ඇඟ මහා බර ගතියක් දැනුනා මට එච්චරයි මතක " මනෝරි පැවසුවාය " ඔයා ටිකක් විවේක ගන්නකෝ මනෝරි ලමයිව තාත්තා බලා ගනියි මම ලයිස නැන්දගෙ කඩෙන් උදේට කන්න ඉඳි ආප්ප ටිකක් අරන් එන්නම් අද ඔයා කිසි වැඩක් නොකර විවේක ගන්න හොදද "
එලෙස පැවසූ සෙනරත් ඉක්මන් ගමනින් නිවසෙන් පිටත් වී තේ කඩයට යනවා වෙනුවට ප්‍රදේශයේ නම ගිය ගුරුන්නාන්සේ කෙනෙක් වන රංකිරා ගුරුනාන්සේගේ පුත්‍රයා වූ පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ ගේ නිවස වෙත ගමන් කලේය පොඩි බණ්ඩා ගුරුන්නාන්සේට සෙනරත් සියලු විස්තර නොසඟවා පැවසුවේය සියල්ල සාවධානව අසා සිටි ගුරුන්නාන්සෙ සෙනරත් හට මෙලෙස පැවසුවේය. මහත්තයෝ ඔය අමුනූෂය බලවේග කොච්චර අපි වහලා හිර කරලා තියන්න හැදුවත් කවදා හරි දවසක ඒ අමනුෂ්‍ය බලවේගෙ ශක්තිමත් වුන ගමන් එලියට එනවා ඒක සොබාවයක් අර අවුරුදු හැට පහකට කලින් ගොරකා ගහ යට වලදාපු ගෑණිත් අවුරුදු ගාණක් තිස්සේ කොහොම හරි ආපහු එලියට එන්න දඟලලා අවසානෙ අපේ අප්පච්චිගේ මන්ත්‍ර බල බිඳුන හැටියෙ එලියට ආවා දැන් ඒ ආත්මෙට ඕනෙ ශරීරයක් ඉස්සරලාම මහත්තයාගේ පොඩි දුව ගාවට ආවත් ඒ ආත්මේ අරමුණ මනෝරි නෝනගේ ඇඟට ඇතුල් වෙන එක
මනෝරි නෝනත් එයාගෙ දන්න අඳුරන අයගෙන් වෙන් වෙලා මෙහෙ ආවම එයාට හිතට තනිකමක් දැනුනා අන්න ඒ දුර්වල කමෙන් ප්‍රයෝජන අරන් අර ගෑණිගේ ආත්මය දැන් ටික ටික මනෝරි නෝනගේ ඇගට ඇතුල් වෙන්න හදන්නේ තව දවස් දෙකෙන් අමාවක උදා වෙනවා එදා වෙනකන් මහත්තයා නෝනා එක්කම ඉන්න අමවක දවසේ හරියට එකොලහට ගොරකා ගහ ලගට නෝනව එක්ක එන්න එන්න බෑ කියලා කලබල කරයි ඒත් බලෙන්ම මහත්තයා නෝනව අරන් එන්න ඕනෙ තව පිරිස පස් හය දෙනෙක් අපිට ඕනෙ මම ඒ අයව ලෑස්ති කරගන්නම් හොදද"
ගුරුන්නාන්සෙ කියූ දෑ අසා තේ කඩයෙන් උදේ කෑමද ගෙන නිවසට ආ සෙනරත් අමාවක දිනය උදාවන තුරු මනෝරිව නොනිදා ඇගේ ලගින්ම සිට ඇයව ආරක්ෂා කලේය.
අමාවක දිනය උදාවී එදින රාත්‍රී දහයට පමණ සෙනරත් දරුවන් දෙදෙනාව තම පියාට භාර කර මනෝරි සමග නිවසෙන් එලියට පැමිණියහ එවිට මනෝරි සෙනරත්ගෙන් මෙලෙස විමුසුවේය." සෙනරත් අපි කොහෙද මේ යන්නේ.."?
" පොඩි ගමනක් යන්නේ යන්කෝ මේ ලගට ගියා ආපහු ආවා එච්චරයි"
එලෙස පවසා මනෝරිගේ එක් අතකින් අල්ලාගෙන සෙනරත් හෙමි හෙමින් ගොරකා ගස දෙසට පා නැගීය සෙනරත් සහ මනෝරී ගොරකා ගස අසලට ලං වන විටත් පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ ඔහුගේ වයසේ කිව හැකි මැදි වයසේ ගම් වැසියන් පස් දෙනෙක් පමණ ගෙන්වාගෙන ගොරකා ගස වටේට විලක්කු පත්තු කර මල් පහන් සහිත මල් යහන් තනා සුවඳ දුම් අල්ලමින් සිටියහ.
දුර තියාම සුවඳ දුම් වල සුවඳ ආඝ්‍රාණය කල මනෝරි එක් වරම නැවතුනාය " මට බෑ මට යන්ඩ එපා කියනවා කවුදෝ මන්දා මට එතනට එන්ඩ බෑ"මනෝරි එලෙස පැවසුවත් සෙනරත් ඇගේ අත තද කොට අල්ලා ඇදගෙන මෙන් ගොරකා ගස පාමුල සිටි පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ ප්‍රමුඛ පිරිස වෙත ගමන් කලේය ඒ වන විටත් බුලත් කොලයකට මන්ත්‍ර මතුරමින් සිටි ගුරුන්නාන්සෙ එක් වරම බුලත් කොලය මනෝරිගේ නලල මත තබනවාත් සමග ඇගේ දෑස් උඩ ගොස් මනෝරිගේ මුහුණට භයානක පෙනුමක් පැමිණියාය.
" මම ආපහු යන්නෙ නෑ එක පාරක් ලමයිව මගේ හූනියම් බලයෙන් බිලි දීල අමරණීය වෙන්න හැදුවේ මට තව එක ලමයයි බිලි දෙන්න ඕන උනේ මට ඒක කරන්න දුන්නෙ නෑ ආයෙ ඒක නොකර මම ආපහු යන්නෙ නෑ යකෝ"මනෝරි වියරු සිනහවක් පාමින් කෑ ගැසුවාය ඒත් සමග පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ රෙදී වලින් තැනූ බෝනික්කෙක් මනෝරිගේ මුහුණට ලං කර මන්ත්‍ර මතුරන්නට විය මනෝරි දඟලමින් කෑ ගසන්නට වූවාය ඒත් සමග ගුරුන්නාන්සෙ යම් රත් පැහැති කුඩු වර්ගයක් මනෝරිගේ ශරීරය වෙත ගැසූ සැනින් මනෝරි විලාප දී සිහිසුන්ව බිම ඇදගෙන වැටුනාය.
" ඒ..ඒ ආත්මේ මනෝරිගේ ඇගෙන් ගියාද ගුරුන්නාන්සේ "
සෙනරත් භීතිය පිරි මුහුනෙන් යුතුව ගුරුන්නාන්සේ දෙස බලා විමසුවේය. " ඔව් ආත්මෙ මනෝරි නෝනගේ ශරීරය අත ඇරියා ඒත් මට පුදුම අවුරුදු ගාණක් ශරීරයකට වැහෙන්න බලා හිටිය ආත්මයක් මෙච්චර ඉක්මණට ගියේ කොහොමද කියලයි ඊටත් ඒ ආත්මෙට තවත් ලමයෙක් බිලි ගන්න එක තමා අරමුණ දැන් මහත්තයගේ ගෙදර කවුද ඉන්නෙ"? ගුරුන්නාන්සේ සෙනරත් දෙස බලා එලෙස විමසුවේය.
" දරුවෝ දෙන්නයි තාත්තයි " සෙනරත් පැවසුවේය." හත් දෙයියනේ ඒ ආත්මේ අපිව රවට්ටලා ඉක්මණට ගෙදරට යමු "ගුරුන්නාන්සෙ කලබලයෙන් එලෙස කියූ සැනින් මනෝරිවත් ඔසවාගෙන සෙනරත් තම නිවස දෙසට දිව ගියේය නිවස අසල ගල් තලාවෙන් සිහිසුන්ව සිටි මනෝරිව තබා හෙමීට සෙනරත් නිවසට ඇතුල් වූයේය නිවස ඇතුල ඝන අන්ධකාරයක ගිලී තිබිණ " තාත්තේ තාත්තේ ....දුව...පුතා..ඔයාල කොහෙද " සෙනරත් සිහින් හඬින් එලෙස විමසුවත් කිසිවෙකුගෙන් හෝ ප්‍රතිචාරයක් නොලැබිණ නිවස තුල වූ දැඩි නිහැඬියාව සෙනරත්ගේ සිත භීතියෙන් භීතියට පත් කොට තිබිණ හේ තවත් අඩි දෙකක් පමණ ඉදිරියට ගිය විට යම් දෙයක පය පැටලී බිම ඇදගෙන වැටුනාය පය පැටලුනේ කුමකටද කියා සොයාගැන්මට අදුරේ අතපත ගෑ සෙනරත්ට එක්වරම මුලු තැන් ගේ දෙසින් පිහියක් මුවහත් කරනා අන්ධමේ හඬක් ඇසිණ
වහා නැගිට ගත් සෙනරත් මුලුතැන් ගේ දෙසට ගමන් කලේය . මලානික ආලෝකයකින් මුලුතැන් ගේ ආලෝකමත් වී තිබිණ එතැනට පැමිණ දුටු දර්ශනය නිසා සෙනරත් අතිශය භීතියට පත් විය මුලුතැන්ගේ හරි මැද සෙනරත්ට පිටු පා සාරියක් ඇඳගත් අයෙක් බිම වාඩිවී විශාල ගලක් එතනින් තබාගෙන නිවසේ මන්න පිහිය මුවහත් කරමින් සිටියාය.
ඒ අසලට බිම සෙනරත්ගේ දියණිය සුව නින්දක සිටියාය පිහිය මුවහත් කරමින් සිටි පුද්ගලයා සාරි පොටකින් හිස වසාගෙන සෙනරත්ට පිටු පා සිටි නිසා ඔහු කවරෙක්ද කියා දැනගැන්මට සෙනරත් වෙව්ලමින් එම පුද්ගලයා අසලට යනවාත් සමග එම පුද්ගලයා එක්වරම මුවහත් කිරීම නැවැත්විය
සෙනරත්ද ඒ සමගම ඉදිරියට යාම නැවැත්විය මද වෙලාවක් බිම බලා සිට හෙමීට සාරිය ඇද ගත් පුද්ගලයා සෙනරත් දෙස බැලීය එවිටය සෙනරත් දුටුවේ සාරිය ඇඳගෙන සිටින්නේ වෙනකකු නොව තම පියා බව නමුත් පියාගේ ශරීරය වෙන ආත්මයක් විසින් අත්පත් කරගෙන ඇති බව සෙනරත්ට වැටහින ඇස් තද රතු පැහැයට හැරී වියරු සිනාවක් පාමින් සිටි හේරත්හාමි එක්වරම තම දකුණතෙන් මන්න පිහිය ඔසවා සෙනරත්ගේ දියණියගේ ගෙල ඉලක්ක කොට මහ හඩින් වියරු සිනාවක් පෑවේය . ඊලග මොහොතේ සිද්ධ විය හැකි විනාශය ඉවෙන් මෙන් වැටහුණ සෙනරත් වහා එතනට පැන තම දියණියව ඔසවා ගත්තේය ඒත් සමගම වියරුවෙන් නැගී සිටි හේරත් හාමි තම වමතින් සෙනරත්ගේ ගෙල අල්ලා ගත්තේ ඔහුට සෙලවීමටවත් ඉඩ නොතබාය . ඒත් සමගම එම ස්ථානයට රෙදි බෝනික්කියත් රැගෙන පැමිණි පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ බෝනික්කිය හේරත්හාමිගේ සිරුරට තබා මන්ත්‍ර මතුරන්නට විය ගුරුන්නාන්සේ සමග ආ පිරිස හේරත්හාමිව තදින් අල්ලාගත්හ." මට බෑ මට යන්න බෑ නවත්තපන් ඕක මාව පිච්චෙනවා ආහ්...."හේරත්හාමි ගොරහැඬි කාන්තා කට හඩකින් එලෙස කියා විලාප දුන්නේය තවත් ටික වෙලාවක් මන්ත්‍ර මතුරා පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ බෝනික්කියව සහ හේරත්හාමිව රත්පැහැති කුඩු වර්ගයකින් නැහැවී යන පරිද්දෙන් ඉසිනු ලැබුවේය ඒත් සමගම සෙනරත්ගේ ගෙල අල්ලා සිටි හේරත්හාමිගේ දැඩි ග්‍රහණය ලිහිල් වී දකුණතේ වූ පිහිය බිම වැටුණි .
තවත් බොහෝ වේලාවක් බෝනික්කියට මැතිරූ පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ ඉන් අනතුරුව රෙදි බෝණික්කිව රත් පැහැති නූල් වලින් තදින් වෙලුවේය." ඕන් ඔක්කොම හරි " මද සිනහවක් සලා ගුරුන්නාන්සේ එලෙස පැවසුවේය ඒ වන විටත් පියවි සිහියට පත් හේරත්හාමි සෙනරත් දෙස බලා ඉකිබිදිමින් මෙලෙස පවසන්නට වූයේය.
" මට සමාවෙයන් පුතේ තව ටිකෙන් මගෙ අතින් මේ දරුවට මහා විනාශයක් වෙන්නෙ ඉහිහ්...ඉහි..මම දන්නෙ නෑ මට මොනවා උනාද කියලා පුතයි මනෝරි දුවයි ගෙදරින් ගිහින් ටික වෙලාවකින් දොරට යටින් කලුපාට දුමක් ඇවිත් මාව වැහිලා ගියා එච්චරයි මට මතක ඉහිහ්...ඉහි"
එවිට පොඩි බණ්ඩා ගුරුන්නාන්සේ මෙලෙස පවසන්නට වූයේය. " ඒ ආත්මෙට ඕන උනේ තනිකමෙන් පාලුවෙන් ඉන්න ශරීරයක් අපි හිතුවට මනෝරි නෝන තමා තනිකමෙන් ඉන්නෙ කියලා ආත්මෙ තෝරගත්තේ හේරත්හාමිව හේරත්හාමි තමා අවුරුදු ගාණක් තනිකමෙන් හිටියේ ආත්මයට ඕන උනෙත් ඒ වගේ ශරීරයක් සදහටම නවතින්න දැන් ඉතින් ඔක්කොම හරි ආත්මෙ ආයෙත් මේ රෙදි බෝණික්කි ඇතුලේ හිර කෙරුවා දැන් මේක අපි වල දාමු අර ගෑණිව වල දාපු ගොරකා ගහ යටම " පසුව සෙනරත් ගුරුන්නාන්සේ ප්‍රමුඛ පිරිස සමග ගොරකා ගස ලගට ගොස් ගැඹුරු වලක් කපා රෙදිබෝණික්කිය වලට දමා වසා දැමූහ.
පසුව ගුරුන්නාන්සේ ප්‍රමුඛ පිරිස තම තමන්ගේ නිවෙස් වලට ගිය අතර සෙනරත් නිවසට පැමිණ වැඩිමහල් දරුවා සොයන විට ඔහු නිදන ඇඳ යට සැඟවී සිටිනවා දක්නට ලැබිණ" මම දැක්කා සීයා අමුතු විදිහට වෙව්ලන් ඇවිත් නංගිව උස්සගන්නවා මට බය හිතිලා මම ඇඳ යට හැංගුනා " වැඩිමහල් දරුවා එලෙස සෙනරත්ට පැවසුවේය.
" සීයා අසනීප වෙලානෙ පුතේ දැන් ඔක්කොම හරි අපි සීයවත් අරන් හෙට උදේම ගම්පහ යමු හොදද" ඒවන විට ප්‍රකෘති සිහියට පත් මනෝරි වැඩිමහල් දරුවාගේ හිස සිඹ එලෙස පැවසුවාය.
" හුරේ සීයා එනවා සීයා අපිත් එක්ක එනවා"
දරු දෙදෙනාම ප්‍රීතියෙන් සිනහ වෙමින් හේරත් හාමි වටා දුවන්නට වූහ.
" ඔව් පුතේ මම එන්නම් පුතාල දුවලා එහෙ ඉද්දි මම මෙහෙ තනියම තනිකමේ ඉන්න ඕනෙ නෑ" හේරත්හාමි සෙනරත් සහ මනෝරි දෙස බලා එලෙස පැවසුවේය.
පසු දින උදෑසන හේරත්හාමිවත් රැගෙන සෙනරත් මනෝරි සහ දරු දෙදෙනා ගම්පහ ඔවුන්ගේ නිවසට පිටත් වුනේ මන්දාරම්නුවර ගම්මානය සදහටම අතහැර දමමින්ය.
නිමි.