රියදුරු රැකියාව කල මට එකම ස්ථානයක කොටු වී සේවය කිරීම අප්‍රිය සහගත වූ හෙයින් මා අර්ධකාලීන ලෙස යම් යම් ස්ථාන හී සේවය කලෙමි මෙයින් මට ආයතනයක හිර වී සිටිනා අයෙකුට වඩා නිදහස් හැඟීමක් භුක්ති විඳි අතර
එයින් යම් පාඩුවක් සිදු නොවුනාමත් නොවේ මන්ද යත් රැකියාව ස්ථීර නොවූ නිසා ඇතැම් කාල වලදී මා හට දින ගණනාවක් කිසිදු රැකියාවක් නොකර සිටීමටද සිදු විය මේ දින වලද එවැනි වූ තත්වයකට මට මුහුණ දීමට සිදුව තිබිණ.
මාගේ නිවස අසල තිබූ හෝටලයේදී මට නොයෙක් ආයතන වල කෙටි කාලීන රියදුරුරැකියා මා හිතවත් අයගෙ මාර්ගයෙන් ලැබුණ නිසා සෙනසුරාදා දිනයක් වූ එදිනද සුපුරුදු පරිදි මා කුමක් හෝ කෙටි කාලීන රියදුරු රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙන් හෝටලය වෙත ගමන් කලෙමි .
මා එම හෝටලයට ඇතුල් වන විටම අනපේක්ෂිත මහා වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේ මා මවිතයට පත් කරමින්ය මන්ද යත් අහසේ යම් සුලු අඳුරු ස්වභාවයක් තිබුණද
මෙවැනි වූ දැඩි වර්ෂාවක් ඇද හැලීමට තරමේ වැහි වලාකුළක් අද උදෑසන අහසේ නොතිබූ බව මා හට ඉඳුරාම පැවසිය හැක කෙසේ වෙතත් වැස්ස නිසාම පරිසරයේ හටගත් සීතල ස්වභාවය නිසාම ශරීරයට යම් උණුසුම් උත්තේජනයක් ලබා දීමට මා හෝටලයේ අසුනක් මත වාඩි වී කෝපි කෝප්පයක් පානය කරන්නට වීමි.
මා හෝටලයේ වාඩි වී සිටි ස්ථානයට පිටත පරිසරය හොදින් දිස් වූ අතර එක්වරම මා දුටුවා මහා වර්ෂාවේ තෙත බරිත වන ලෙස තෙමෙමින් හෝටලය වෙත පැමිණෙන කලු පැහැති ලෝගුවක් පොරවාගත් මිනිසෙක්. ඔහු සෙමෙන් සෙමෙන් පැමිණෙන අන්දම දැක මා හට සිතුනේ එම මිනිසා හට වර්ෂාව පිළිබඳව තැකීමක් නොමැති බවයි.
එම මිනිසා හෝටලය තුල සිටි කිසිදු අයෙක් දෙස නොබලා මා සිටි මේසයේ ඉදිරිපස අසුනකින් වාඩි වී එක එල්ලේ තත්පර කීපයක් බලා සිට ගොරෝසු කට හඬකින් මෙලෙස පැවසුවේය.
" රස්සාවක් තියෙනවා කැමතිද කරන්න"?
" ඔව් මට මේ වෙලාවේ රස්සාවක් උවමනායි මහත්මයා හැබැයි මට ඩ්‍රැයිවින් ජොබ් විතරයි කරන්න පුලුවන් වෙනත් රැකියා වලට කැමති නැහැ " මම පැවසුවෙමි " ඔව් මේක රියදුරු රැකියාවක් තමයි තමුසෙට කරන්න තියෙන්නේ පරණ බස් එකක් රාත්‍රී අටේ ඉදලා පාන්දර හතර වෙනකන් එලවන්න බස් එකේ කොන්දොස්තර කෙනෙක් ඉන්නවා එයා තමුසෙට කියන ආකාරයට බස් එක නතර කරන්න ධාවනය කරන්න ඕනෙ මේ වැඩේ අවුරුද්දටම එක දවසයි කරන්න ඕනෙ තමුසෙට පඩිය දෙනවා එක දවසේ සේවය වෙනුවෙන් ලක්ෂ සීයක් බයවෙන්න එපා මේක නීතිවිරෝධී වැඩක් නෙමෙයි ඉතින් කියනවා රස්සාවට ඔහේ කැමතිද " අමුත්තා එලෙස මාගෙන් විමසුවේය .
" අවුරුද්දක් මම වාහන එලවලා ගන්නැති පඩියක් මහත්තයෝ ඔය කිව්වෙ මම එනවා..මම එක පයින්ම එනවා " මා මුව පුරා සිනාවක් රුවා ගෙන අමුත්තා දෙස බලා පැවසුවෙමි " හොදයි ඔහේ රස්සාවට කැමතිනම් හෙට රෑ අටට කොන්දොස්තර බස් එක අරන් තමුසෙගේ ගාවට එයි කොන්දොස්තර කැමති නෑ ඒ බස් එක එලවන්න තමුසෙව ගන්න ඕන නිසා එතනට විතරක් බස් එක අරන් එයි එතනින් එහාට තමුසෙ තමා මේ බස් එක අරන් යන්න ඕනේ හැබැයි තවත් භයානක දෙයක් තියෙනවා ඔහේට කියන්න " අමුත්තා සන්සුන් ලෙස පැහැදිලි හඬින් මට එලෙස පැවසුවේය.
" මො..මොකක්ද ඒ භයානක දේ..? මා අමුත්තාගෙන් විමසුවෙමි
" මේ යන ගමනේදී තමුසෙට මහා භයානක දේවල් අත් විඳින්න ලැබේවි හොල්මන් යක්කු පේරේතයින්ට තමුසෙ බය නෑනේද " මා අමුත්තාගෙන් ඇසූ පැනයට ඔහුත් පෙරලා මාගෙන් පැනයක් විමසුවේය. " හොල්මන් කියලා දෙයක් නෑනෙ මම දන්න තරමින් ඔය දුර්වල හිත් තියෙන මිනිස්සු මනසින් හදාගත් විකාරනේ "මම පැවසුවෙමි.එවිට කට කොණකින් සමච්චලයට මෙන් මදහසක් නැගූ අමුත්තා මෙලෙස පැවසුවේය." එහෙනම් ප්‍රශ්නයක් නෑ මටත් ඕනෙ මේ වැඩේට හොද හිත හයිය මිනිහෙක්ව ගන්න .ඉස්සර හිටියා රියදුරා ඊයෙ රෑ මිය ගියා ඒ මනුස්සයා මැරෙනකම් වැඩ කෙරුවා ඒ බස් එකේ රියදුරා විදිහට කොහොම උනත් තමුසෙ තමා මට හිතෙන විදිහට මේ වැඩේට හොදම මිනිහා හොදයි හෙට රෑ අට වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා වතුර බෝතලුත් හත අටක් ගන්නවා යන ගමනේදී තමුසෙගෙ උගුර කට වේලිලා හීන් දාඩිය දාල සමහර විට තමුසෙට කවදාවත් ඇති නොවුන බය හෙට ඇති වෙන්න පුලුවන් එතකොට වතුර ඕන වෙන්නෙ " එලෙස පවසා හිඳ උන් ආසනයෙන් නැගී සිටි අමුත්තා වදනකුදු නොදොඩා යලිත් ඇද හැලෙන දැඩි වර්ෂාවේ තෙමෙමින් සන්සුන් ගමනෙන් ඔහු ආ දෙසටම ආපසු ගමන් කරන්නට වූයේය.
පසුව මාද නිවසට පැමිණියේ මහත්. වූ උද්යෝග සිතක් පෙරදැරි කරගෙනය .පසුදින සැන්දෑවේ සිට නිවසට වී මා පුල පුලා බලා සිටියේ බස් රථය නිවස අද්දරට පැමිණෙන තෙක්ය .මගේ නිවස පිහිටියේ ප්‍රධාන මාවතේ සිට මීටර් තුන්සීයක පමණ දුරකිනි මගේ නිවස අවට සිටිනා අසල් වැසියන් තම තමන්ගේ රථ වාහන නිවෙස් ඉදිරිපිට අතුරු මාවතේ නතර කිරීම සාමාන්‍ය සිරිතකි රාත්‍රී හතයි පනස් පහ පමණ වන විට හදිස්සියේම මාගේ සිහියට ආවේ අසල් වැසියන්ගේ රථ වාහන නතර කල විට අතුරු මාවතේ වූ ඉඩ බස් රථයක් ඒමට තරම් ප්රමාණවත් නොමැති හෙයින් වහා ප්‍රධාන මාවතට යාම නුවණට හුරු බවයි මා ජලය පිරි බෝතල් පහක් පමණ මගේ ගමන් බෑගයකට දමාගෙන නිවසේ දොර යතුරු ලා ප්‍රධාන මාවතට යාමට සිතා නිවසෙන් පිටතට ආවා පමණි එක්වරම ගොරහැඬි හඬක් නගාගෙන පැමිණි කබල් බස් රථයක් මාගේ නිවස ඉදිරිපිට නතර විය .
බස් රථයේ රියදුරු අසුනේ සිට පිටතට පැමිණි කලු ලෝගුවකින් මුලු ශරීරයම වසා ගත් පුද්ගලයෙක් මා අසලට විත් මෙලෙස පැවසුවේය. " ඔහේගෙ නම මේනක නේද මේ බස් එකේ අලුත් රියදුරා ඔහේ නේද"? මා මදහසක් නන්වා " ඔව් " යැයි පැවසුවෙමි එවිට නැවතත් ඔහු මෙලෙස පැවසීය
" හොදයි මේනක මම තමා මේ බස් එකේ කොන්දොස්තර එහෙනම් ඉක්මණට යමු අපිට වෙලාව හොදටම අඩුයි එලිවෙන්න කලින් කරන්න වැඩ බොහෝමයි " මා අතුරු මාවත දෙසට නෙත් යොමා බලන විට දුටුවේ අසල් වැසි කිහිප දෙනෙකුගේ වාහන කිහිපයක් මාවතේ නතර කර තිබෙනා අන්දමයි මේ රථ වාහන තිබෙන විට මාවතේ වූ කුඩා ඉඩ හසරෙන් මේ බස් රථය මගේ නිවස අද්දරටම පැමිණීම මට මහත් වූ කුකුසක් ගෙන දුන්නද ඒ ගැන වැඩි දුර නොසිතා කොන්දොස්තර්වරයා හට මෙලෙස පැවසුවෙමි " මේ මම මේ වාහන ටික අයින් කරන්න කියන්න අහල පහල අයට කතා කරලා මේ ඉඩෙන් බස් එක යන්න බැරිවෙයි නේද " නෑ..නෑ ඒවා ඕනෙ නෑ ඔහේ ඉක්මණට මේ බස් එකට නැගලා එලවන්න පටන් ගන්නවා ඔය නවත්වලා තියෙන වාහන ගැන නොහිතා " කොන්දොස්තර් වරයා දැඩි හඩින් එලෙස පැවසූ හෙයින් මා වහා බස් රථයට නැග රථය පණ ගන්වා ඉදිරියට යාමට ගමන් ඇරඹුවෙමි
මෙවීට මා විශ්මයට පත් කරමින් මාවතේ වූ අඩි දෙකක පමණ වූ කුඩා ඉඩෙන් ඒ දැවැන්ත බස් රථය ඉදිරියටම ඇදෙන්නට විය. " මේ..මේක කොහොමද වෙන්නෙ මෙච්චර පොඩි ඉඩක මේ බස් එක යන්නෙ කොහොමද "? මා බස් රථය හසුරවන ගමන් කොන්දොස්තර දෙස බලා විමතියෙන් පැවසුවෙමි. " ඒක ගැන තමුසේ නොහිතා ඔය බස් එකේ වේගය උපරිම වැඩි කරනවා " කොන්දොස්තර පැවසීය නමුත් මෙවැනි අතුරු පාරක බස් රථයක වේගය වැඩි කිරීම අවදානම් කටයුත්තකි ඒ වගේම ඉදිරියෙන් ඇත්තේ ප්‍රධාන මාවතය එහි රථ වාහන නිතරම පිරී පවතී එම නිසා මා මෙලෙස පැවසුවෙමි. " වේගය වැඩි කරන්නෙ කොහොමද ඉස්සරහා ප්‍රධාන පාර හැමතිස්සෙම වාහන යනවා බස් එක එක පාර පාරට දාල ඇක්සිඩන් වෙයි " එවිට නොරුස්නා බැල්මක් මදෙස හෙලා කොන්දොස්තර මෙලෙස පැවසීය " තමුසෙ වැඩ කරන්න ඕනෙ මම කියන විදිහටයි ඒක මුලින්ම කියන්න ඇතිනෙ දැන් වහාම වේගෙ වැඩි කරනවා" සිත යටින් ඔහුට බැන වදිමින් අනතුරක් නොවේවායි දෙවියන් යදිමින් මා බස් රථයේ වේගය උපරීමයට වැඩි කර ඉදිරියට ඇදුනෙමි
අධික වේගයෙන් ඉදීරියට ඇදී ගිය බස් රථය බලවත් වූ පරිශ්‍රමයක් දරා ප්‍රධාන මාවතට හරවා ගත්තෙමි ප්‍රධාන මාවතට පැමිණී විට මා විමතියට පත් වුනෙමි මන්දයත් වෙනදා මාවත පිරී යන තරමට රථ වාහන මාවතේ එහෙට මෙහෙට ගමන් කලත් අද දිනයේ එකදු රථවාහනයක්වත් ප්‍රධාන මාවතේ නොමැතිව තිබීම දුටු හෙයින්ය .මා හට මේ පිලිබදව කොන්දොස්තර්වරයාගෙන් විමසීමට සිත් වුනත් මේ වන විට ඔහු සිටියේ බස් රථයේ පසුපසය එනිසා මුනිවත රැකගෙන මා රථය හැසිරවූවෙමි.ප්‍රධාන මාවතේ සැතපුමක් පමණ ගිය විට හමු වන මග දෙපස වූ වනාන්තරය අසලට ලං වන විට කොන්දොස්තර වරයා මා අසලට පැමිණ වනාන්තරය තුලට ඇති අඩි පාරක් මා හට පෙන්වා මෙලෙස කීය. " ආන්න අර අඩි පාරට බස් එක හරවනවා " මා එක්වරම තිගැස්සී ගල් පිළිමයක් සේ ඔහු දෙස බලා සිටියෙමි වනාන්තරය තුලට යාමට ඇති අඩි පාර තුලට මේවන් වූ බස් රථයක් කෙසේ යන්නද යම් හෙයකින් රථය අඩි පාරට හැරවුවහොත් බස් රථය ගමන් කරනා වේගය අනුව අඩි පාර දෙපස දැවැන්ත ගස් වල වැදී බස් රථය කුඩු පට්ටම් වීම ඒකාන්තය.
" මේ..මේ..යන වේගෙ අඩු කරලා බස් එක අඩි පාරට හරවන්නද" මම ඇසුවෙමි. " එපා ඔය යන වේගයටම හරවනවා ඉක්මන් කරනවා" කොන්දොස්තර් ගේ අණට කීකරු වූ මා එක් වරම අධි වේගයෙන් ගමන් කරනා බස් රථය වනාන්තරය තුලට ඇති පාරට හැරවූවෙමි. පුදුමයකි බස් රථය එම අඩි පාරට හරවනවාත් සමග අඩි පාර අඩි පහලොවක පමණ වූ රලු බොරලු මාර්ගයකට පරිවර්තනය විය. සිදු වන දෑ මා හට විමතිය දනවනා සිදුවීම් වූවද ඒ පිළිබඳව කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමට මා මැලි වූයේ කොන්දොස්තර්වරයා මා බස් රථයට ගොඩ වූ අවස්ථාවේ සිට නොරිස්සුම් බැල්මකින් හැම අවස්ථාවකම මා දෙස බැලූ නිසාය . කෙසේ හෝ තවත් සැතපුම් පහක් පමණ එම වනාන්තරය තුල වූ කර්කෂ මාවතේ ගමන් කල විට ජනශුන්‍ය වූ නගරයක් අපහට හමුවීය දුර තියාම ඉදිරිපසම බලා ගමන් කරණ මා දුටුවේ එම නගරය ආරම්භ වන ස්ථානයේ මාවත අද්දර විශාල ගමන් මලුදෑතින් ඔසවාගත් අඩි හතක් පමණ වූ උසැති හැඩි දැඩි මිනිසුන් තිදෙනෙක් සිටිනවාය.
" බස් එක නතර කරනවා ඔය තුන් දෙනාත් අපිත් එක්ක යනවා " කොන්දොස්තර් වරයා එලෙස පැවසූ හෙයින් මා රථය ඔවුන් සමීපයේ නතර කලෙමි කොන්දොස්තර්වරයා සේම ඔවුන්ද කලු පැහැති ලෝගු පොරවාගෙන සිටි අතර ඔවුන්ගේ උර මත ගිණි අවි විය . බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුල් වූ තිදෙනා මදෙස බලා මදහසක් නගා කොන්දොස්තර්වරයා දෙස බලා මෙලෙස එක වර විමසූහ." මෙයාද අලුත් රියදුරා "කොන්දොස්තර්වරයා හිස සලා එය අනුමත කලේය. " ඔබ තුමාලා දඩයමේ යනවද"? මා එලෙස විමසූ පැනයට ඔවුන් තිදෙනා එක වර කොක්හඬලා සිනාසී මෙලෙස කීය." ඔව් දඩයමක් වගේ තමා තමුසෙ දන්නෙ නැද්ද මේ අපි යන ගමන ගැන කිසිම දෙයක්" ඔවුන් එකවර මාගෙන් විමසූ පැනයට මා පිලිතුරු දීමට පෙර කොන්දොස්තරවරයා මෙලෙස පැවසීය " ඒවා පස්සෙ කතා කර ගමු අපිට අද ගොඩක් වැඩ තියෙනවා ඉක්මණ් කරමු ඒ වගේම පුලුවන් තරම් වේගෙන් යනවා " ඔහු බස් රථයට ගොඩ වූ තිදෙනා සහ මදෙස බලා එලෙස පැවසීය.
ඉන් පසු මා බස් රථය පණ ගන්වා ඉදිරිය බලා ගමන් ඇරඹුවෙමි මේ අවස්ථාවේ මා දුටු එක් දෙයක් විය එනම් එම පුද්ගලයන් තිදෙනා බස් රථයට ගොඩ වූවත් සමග අවට පරිසරය පුරා ඝන මීදුමක් පැතිරීමය මීදුම අතිරින් පවනට බදු වේගයෙන් ඉදිරියට ඇදෙන බස් රථය හසුරවන මා හට නොයෙක්වර සිතුනේ කුමණ මොහොතක රථය අනතුරකට ලක් වේද කියායි තවත් හෝරාවකට පමණ පසු බස් රථය ගම්බද ප්‍රදේශයකට ලගා වූ අතර කොන්දොස්තර්වරයා එක් පැරණි නිවසක් අසල රථය නතර කිරීමට මා හට පැවසූ හෙයින් මා රථය නතර කලෙමි ඒත් සමගම රථය තුල සිටි තිදෙනා වහා ඔවුන්ගේ ගමන් මලු තුල තිබූ කඩු පිහි ගිණි අවි වලින් සන්නද්ධව රථයෙන් බිමට බැස පැරණි නිවස තුලට ඇතුල් වූහ තත්පර කිහිපයකින් නිවස තුලින් විලාප හඬක් මා හට ශ්‍රවණය විය.
ඔවුන් නිවස තුලට ගොස් යම් ඝාතනයක් කලාද මා දන්නේ නැත මා දන්නේ එක දෙයකි කුමක් හෝ භයානක නීතිවිරෝධි කටයුත්තකට මාද මැදිහත් වී සිටින බවය මා හට සිතුනේ බස් රථය හැර පලා යාමටයි නමුත් මෙවැනි සාහසිකයින් මාව කෙසේ හෝ සොයාගෙන මරාදමන බව ඒකාන්ත හෙයින් මා භීතියෙන් වෙව්ලමින් රියදුරු අසුනට වී සිටියේ පැරණි නිවස දෙසටම නෙත් යොමාගෙනය තවත් මිනිත්තු කිහිපයකින් හැඩි දැඩි මිනිසුන් තිදෙනා පැරණි නිවසෙන් එලියට පැමිණිහ ඔවුන්ගේ සිරුරු රක්ත වර්ණ රුධිරයෙන් නැහැ වී තිබූ අතර ඔවුන් කඹයකින් බැඳි අයෙක්ව බිම දිගේ ඇදගෙන ආවෝය මා විමසිල්ලෙන් නෙත් යොමා බැලුවේ කඹයකින් බැඳි තැනැත්තා කවරෙක්ද යන්න සොයා බැලීමටය .ඒත් සමග දුටු දෙයින් මා භීතියෙන් භීතියට පත් ව මාගේ ශරීරය අප්‍රාණික වන්නාක් මෙන් විය.
ඔවුන් කඹයෙන් බැඳ බිම දිගේ තිරිසන් සත්වයෙක් ඇද එන පරිද්දෙන් ඔවුන්ගෙන් මිදීමට වෙර දරනා විලාප තබන අහිංසක යුවතියක්ව ඇද ඇවිත් බස් රථයට දමා බස් රථයේ වූ ලෝහ අත් වාරුවක් මැදිවන ලෙස ඇගේ දෙඅතට මාංචු දමා ජයග්‍රාහී සිනවකින් මුව සරසාගෙන තම තමන් පෙර වාඩි වී සිටි ස්ථාන වල වාඩි වූහ. " හ්ම්..ගන්නවා බස් එක අපිට රෑ එලිවෙන්න කලින් කරන්න තව වැඩ තියෙනවා " කොන්දොස්තර්වරයා මවෙත පැමිණ තර්ජනාත්මක ස්වරයෙන් එලෙස පැවසුවේය. "බැහැ මම බස් එක එක අඩියක් ඉස්සරහට ගන්නෙ නෑ ඔහේලා කරන වැඩෙන් මට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා "මා දැඩි හඩින් පැවසුවෙමි
එවිට කොන්දොස්තර වරයා මෙලෙස මා හට පැවසීය." ගන්නවා මේ බස් එක ඉක්මණට අපිට එක තැනක වැඩි වෙලා ඉන්න බෑ තමුසෙ හදන්නේ අපි හැමෝම එක්ක තමුසෙත් අමාරුවෙ වැටෙන් කිව්වම අහලා බස් එක ගන්නවා ඉක්මණට මෙතනින් පිට වෙමු".. ඔහු කියූ දේ නැසූ කන්ව මා ඉවත බලාගෙන කොන්දොස්තර්වරයාට මෙලෙස පැවසුවෙමි." ඔහේලා මට ඇත්ත කියනවලා මොකක්ද මෙතන වෙන්නෙ කියලා "නමුත් කොන්දොස්තර්වරයාගෙන් පිලිතුරක් ලැබීමට පෙර පිටත පරිසරයේ වූ දැවැන්ත ගස් සොලවමින් මහා භයානක හඬක් නගමින් කිසිවෙක් හෝ පැමිණෙනවා මා දුටු හෙයින් මගේ භීතිය දෙගුණ තෙගුණ විය තවදුරටත් එම ස්ථානයට වී සිටීම නුවණට හුරු නැති බව මා හට හැගුණු නිසා මා බස් රථය පණ ගන්වා වේගයෙන් ඉදිරියට ගමන් අරඹන්නට වීමි.මුදල් තණ්හාව නිසා මාගේ ජීවිතය මවිසින්ම අනතුරේ හෙලාගෙන ඇති බව දැන් පැහැදිලිවම මාහට අවබෝධ වී ඇත.
ලිඳ පතුලට වැටුනු මිනිසා ලිං කටින්ම ගොඩ ඒම මිස වෙන විකල්පයක් නොමැත එලෙස සිතා ලැබෙන පලමු අවස්ථාවේදීම මොවුන්ගෙන් මිදී පලායමි කියා මා තීරණය කලෙමි ඉන්පසු භීතියෙන් ගැහෙන මාගේ දෑත් අපහසුවෙන් පාලනය කරගෙන නැවතත් බස් රථය පන ගන්වා ඉදිරියට යාමට ගමන් ඇරඹුවෙමි. මේ අවස්ථාවේ මා හට පැහැදිලි වූ යම් දෙයක් ඇත එනම් මේ බස් රථය මාගේ සිතැඟි වලට අනූකූලව ගමන් කරනා බවයි මා බස් රථය නවත්වන්නට සිතූ විට මා ක්‍රියාත්මක වීමට පෙර බස් රථය නතර වේ වේගයද මගේ සිතැගි අනුව පාලනය වේ මෙය නම් පුදුමාකාර බස් රථයකි මාගේ ජීවිත කාලය පුරා මෙවැනි රථයක් හසුරුවා නොමැති බව ඉඳුරාම කියත හැක.
තවත් සැතපුම් පහක් පමණ ගමන් කල විට තුන්මංසලක තිබූ විශාල නිවසක් අසල රථය මා හට නතර කිරීමට කොන්දොස්තර වරයා උපදෙස් දී අවසන මෙලෙස පැවසුවේය. " තමුසෙ බය වෙන්න එපා මම මේ හැම දෙයක්ම තේරුම් කරලා දෙන්නම් " මා බස් රථය නතර කල විට සාහසිකයින් තිදෙනා ඔවුන්ගේ ආයුධත් රැගෙන එම විශාල නිවසට ගමන් කල අතර කොන්දොස්තර වරයාද ඔවුන් සමග ගමන් කල නිසා මා පලා යාමට නැගී සිටියෙමි එවිට රථයේ පිටුපස විලංගු ලා සිටින යුවතිය මෙලෙස පවසන්නට වූවාය. " ඔහේ දන්නව නේද මේ කරන වැඩේ බරපතල කම මම නිකමට හරි මුන්ගෙන් බේරුනොත් තමුසෙවත් පොලිසියට අල්ලලා දෙනවා " යුවතිය එලෙස කියූ විට මා බියපත්ව ඇගේ අසලට ගොස් මෙලෙස ආයාචනා කලේය.
" මේ අහන්න මම මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ මම මෙයාලගෙ කෙනෙක් නෙමේ "
එවිට විලංගු ලා තිබූ යුවතිය මෙලෙස පවසමින් හඩන්නට විය. " ඒත් ඔහේනෙ මේ බස් එක එලවන්නේ අනේ මට බෑ මේ අය එක්ක යන්න මෙයාල බොහොම දරුණුයි මට හිතෙනවා ඔයා හොද කෙනෙක් කියලා ඔයාට පුලුවන්නම් මේ මාංචු ගලවන්න අනේ මට උදව් කරන්නකෝ ඉහි..ඉහිහ්.."යුවතියගේ හැඬුමට මගේ හදවත හැගීම්බර විය එනිසාම මා බස් රථය පරීක්ෂා කර විලංගු කපනා අඬුවක් ඇය වෙතට ලංකර මෙලෙස පැවසුවෙමි. " ඔන්න ඕකෙන් මාංචු කපාගෙන පැනගන්න මම කියන්නම් ඔයා පැනලා ගියා කියලා " එවිට යුවතිය මෙලෙස පවසන්නට වූවාය. " අනේ ඔයාට තේරෙන් නැද්ද මට බෑ මේ මාංචු ගලවන්න ඔයාට විතරයි ඒක කරන්න පුලුවන් ඉක්මණ් කරන්නකෝ උන් එන්න කලින් මාව නිදහස් කරන්න " ඇගේ හැඩුම අසා සිටීමට නොහැකි තැන මා ඇගේ විලංගු කැපීමට ලෝහ කපනා අඬුව සුරතට ගත්තෙමි
නමුත් යුවතියගේ අවාසනාවට බස් රථයේ කොන්දෝස්තරවරයා බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුල් විය ඒත් සමගම මා යුවතිය අසල ලෝහ කපනා අඬුව සමග සිටිනවා දැක ඔහුට සියල්ල වැටහින එක්වරම අඩි දොලහක පමණ දුර සිටි ඔහු මුලු බස්රථයම භයාණක ලෙස සොලවමින් පියඹා එන්නාක් මෙන් ඇසිපිය හෙලීමට පෙර මාවෙත පැමිණියේය .
" ඇයි තමුසෙ මෙතනට ආවේ ඔහෝ.. තමුසෙට මේකිව නිදහස් කරන්න ඕනිද තමුසෙගෙ ජීවිතයට ආදරේ නම් මේකි ලග ඉන්නෙ නැතුව වහාම යනවා රියදුරු ආසනයට" කොන්දොස්තර වරයා කෝපයෙන් මදෙස බලා කෑ ගසා අනතුරුව යුවතිය දෙස බලා මෙලෙස පැවසුවේය. "මැඩම් ඔයත් අහිංසක විදිහට රඟපාන්න එපා එහෙම උනොත් දඬුවම භයානක වෙයි " කොන්දොස්තර්වරයා එලෙස පැවසූ විට යුවතිය හිස ගස්සා ඉවත බලා ගත්තාය මා නැවත රියදුරු ආසනයට යාමට සූදානම් වන විට සාහසිකයින් තිදෙනා රුධිරයෙන් නැහැවී සිටි මිනිසෙක්ව කඹවලින් බැඳ යුවතියව රැගෙන ආපරිද්දෙන් බිම ඇදගෙන ආහ.ඔවුන් රැගෙන මිනිසාගේ ශරීරයේ බරපතල කැපුම් කෙටුම් වූ අතර එයින් රුධිරය වෑස්සින නමුත් ඒමිනිසා හට කිසිදු වේදනාවක් නොමැත ඔහු වියරුවෙන් සිනා සෙමින් සිටියේ සාහසිකයන් තිදෙනා දෙස රුදුරු බැල්මක් හෙලන අතර වාරයේය.
කොන්දොස්තරගේ අණ පරිදි ඉන්පසු නැවතත් අප ගමන් ඇරඹීය. ඊලගට අප ලගා වූයේ පාලුවට ගිය තවත් නගරයකටය එම නගරය මධ්‍යයේ හැරමිටියක වාරුවෙන් ඇවිද යන මහලු ස්ත්‍රියක් සිටිනවා දැක බස් රථය නතර කිරීමට කොන්දොස්තර මාහට උපදෙස් දී රථය නතර කල පසු සාහසිකයින් සමග ඔහුද මහලු ස්ත්‍රිය දෙසට ගමන් කලහ. මහලු ස්ත්‍රිය දුර තියාම ඔවුන්ව දුටු නිසා භීතියෙන් විලාප දෙමින් ඔවුන්ගෙන් බේරීම සදහා දිව යන්නට විය එතරම් මහලු ස්ත්‍රියක් හැරමිටිය විසිකොට තරුණියක් පරිද්දෙන් වේගයෙන් දිව යන අයුරු මා හට මවිතයක් ගෙන දුන්නද මා එය ගැන තව දුරටත් නොසිතා මේ භයාණක කොන්දොස්තර ඇතුලු සාහසිකයින් තිදෙනාගෙන් මිදී පලායාම සදහා බස් රථයෙන් බිමට බැස නගරයේ වූ නිවෙස් වෙත දිව ගියෙමි .
" කවුරු හරි මට උදව් කරන්න අනේ කවුරුවත් නැද්දෝ " එලෙස පවසමින් නගරයේ සෑම නිවසකම දොරවල් වලට තඩිබෑවත් කිසිවෙකු හෝ එම නිවෙස් තුල සිටියේ නැත නමුත් එක්වරම මා දුටුවා එක නිවසක් තුලට මිනිසෙක් ඇතුල් වෙනවා ඒත් සමග මාද එම නිවස තුලට ඇතුල් වූයෙමි හදිස්සියේම මා නිවසට කඩා වැදීම නිසා නිවසේ වූ පුද්ගලයා කලබලයට පත් විය මා වහා එම නිවසේ දොර වසා දමා නිවෙස් හිමියාට මෙලෙස පැවසුවෙමි." අනේ මම ලොකු අමාරුවක වැටිලා මම නොදැනුවත්ව මිනීමරු කණ්ඩායමකට සම්බන්ධ වෙලා ඉ..ඉක්මණට මට මෙහෙ පොලිසියට කතා කරන්න ඕනෙ"
එවිට නිවෙස් හිමියා පුදුමයෙන් මදෙස බලා මෙලෙස ඇසීය " මොනවද පොලීසිය කියන්නෙ එහෙම ඒවා මෙහෙ නෑ ඔහේ කවුද මොනවද මෙහෙ කරන්නෙ "නිවෙස් හිමියා ඇසූ පැනයට පිලිතුරු දීමට පෙර එක්වරම මා සිටි නිවසේ දොරට ගසනා හඬක් මාහට ශ්‍රවණය විය නමුත් එය එක මිනිසෙක් කල තට්ටු කිරීමක් නොවීය මිනිසුන් සිය ගණනක් විසින් කරනා දෙයක් බව මට පැහැදිලි විය එක්වරම දොරට ගසනා හඩ වියැකී පිටතින් මහා ඝෝෂාවක් ඇසින "" බස් ඩ්‍රයිවර් එලියට වරෙන් උඹව අද ඉවර කරනවා එලියට වරේන්" පීටත සිටි පිරිස මාරාවේශයෙන් එලෙස පවසන අතර නිවෙස් හිමියා වහා ඉදිරියට පැන නිවසේ වූ දොර විවර කලේය ඒත් සමග මට දක්නට ලැබුනේ ඉදිමී කුණු වී ගිය ශරීර වලින් යුතු මිනිසුන් රාශියක් මා සිටි නිවස වට කරගෙන සිටිනා අන්ධමය " මේකව කෑලි කෑලිවලට ඉරලා මරමු මූ තමයි අර බස් එක අරන් එන එකා " පිරිසේ වූ එක් අයෙක් එලෙස පැවසූ විට සියල්ලෝම ඔවුන්ගේ උල් නිය පිරි දෑත් දිගු කරගෙන මා කැබලි බවට පත් කිරීමට මවෙත ආහ.
ඔවුන් එක පොදියට මා වට කරගත් විට මා සිතුවේ මෙතකින් මගේ ජීවිතය නිමා වන බවයි නමුත් එක්වරම එම ස්ථානයට කොන්දොස්තරවරයා පැමිණි අතර එකෙනෙහිම මාගේ ශරීරය කැබලි කිරීමට පැමිණි සියලු දෙනා කොන්දොස්තරවරයා දැක හිස් ලූ ලූ අත දිව ගියහ.
" තමුසෙට තේරෙන්නෙ නැද්ද බස් එකෙන් එලියට එන එක අන්තිම භයානකයි කියලා වහාම යනවා බස් එක ඇතුලට " කොන්දොස්තර වරයා මාවෙත කෝපයෙන් මොර දෙන්නට වූයේය . ඔහුගේ දෝෂාරෝපණය අසා මා නැවත බස් රථයට දිව ගොස් රථයේ දොරවල් වසා දැමුවෙමි බස් රථයේ පිටුපස බැඳ දමා විලංගු ලා සිටි යුවතිය සහ මිනිසා බියට පත් මා දැක මහ හඩින් වියරු ලෙස සිනාසෙන්නට වූහ.
" නවත්තපියව් උඹලගේ මුස්පේන්තු හිනාව " මා කෝපයෙන් ඔවුන් දෙදෙනා දෙස බලා පැවසුවෙමි. ඒත් සමගම බස් රථයේ වහලය මතට යම් බරති කිසියම් දෙයක් ඉහල සිට ඇද වැටුනු අතර ඒත් සමග බස් රථය භයානක ලෙස දෙපසට පැද්දින. මා තුෂ්නිම්බූතව පිටත කිසිවක් නොපෙනුනද බස් රථයේ ඉහල දෙස බලා සිටියෙමි බස් රථය තුල සිටි යුවතිය සහ මිනිසාද සිනාසීම නතර කලහ භයානක මාරාන්තික නිහැඩියාවක් තත්පර කීපයක් අවට පරිසරයේ රජ කරන්නට විය
එක්වරම බස් රථය කුමකින් හෝ සූරන්නාක් මෙන් අමිහිරි හඬක් සමග යම් බරැති අයෙක් ඇවිද යන්නාක් මෙන් ඇසුණු හඬක් නිසා පරිසරයේ වූ නිහැඩියාව බිදී ගිය අතර මාගේශරීරය භීතිය නිසා දහඩියෙන් තෙත් විය . මා බස් රථයේ වූ ජනෙල් වලින් අවට පරිසරය සිසාරා බැලුවේ කොන්දොස්තර වරයා හෝ සාහසික මිනීමරුවන් තිදෙනා කොහේ සිට පැමිණ මේ භයානක අවස්ථාවෙන් මා මුදවා ගනීයැයි සිතාය. නමුත් ඔවුන් කිසිවෙක් හෝ මා හට දක්නට නොලැබිණ එක්වරම බස් රථය උඩ සිට බිමට යමෙක් පනිනවාත් සමග මා රථය උඩ සිටියේ කවරෙක්දැයි දැනගැන්මට විමසිල්ලෙන් එදෙස බැලුවෙමි ඒත් සමග මා මවිතයට වූයේය මන්ද යත් බස් රථයේ උඩ සිට බිමට පැන තිබුණේ කුඩා දරුවෙක්ය.
වයස අවුරුදු දහයක් පමණ වූ එම දරුවා අහිංසක පෙනුමැත්තෙක්ය ඔහු මදෙස බලා භීතියෙන් මෙන් මෙලෙස පවසන්නට විය
" අනේ මාමේ මාවත් ඔය බස් එක ඇතුලට ගන්න මට මේ කලුවරේ ඉන්න බෑ අනේ ගන්නකෝ මට බයයි" සිදුවුන සිදුවීම් නිසා අදික බියට පත් මා හිස දෙපසට වනා එය ප්‍රතික්ෂේප කලෙමි එවිට බස් රථය තුල සිටි යුවතීය මෙලෙස පවසන්නට විය. " ඔහේ නම් පුදුම මනුස්සයෙක් කරුණාවක් ගෑවිලාවත් නෑ අර දරුවා පුදුම භයකින් එලියෙ ඉන්නවා ගන්නවකෝ ඒ ලමයව බස් එක ඇතුලට "
" බෑ..බෑ..මම ගන්නෙ නෑ කිසිම කෙනෙක් බස් එක ඇතුලට ගන්නෙ නෑ මෙතනින් පලයන් ලමයෝ මට කරදර නොකර " මා එලෙස කෑගැසුවෙමි.
ඒත් සමගම එක්වරම දරුවා පිටුපසින් අදුරේ සිට මතුවුන කොන්දොස්තර ඔහුගේ සුරත මත තිබූ විශාල කඩුවකින් දරුවාව දෙපලුවන ලෙස කපා දැමුවේය. නමුත් මවිතයට කාරණය නම් දෙපලු වූ දරුවාගේ ශරීරය නැවත ඉබේම පෙර තිබූ ලෙසටම බද්ධ විය නැවත කොන්දොස්තර වරයා ඔහුගේ කඩුවෙන් දරුවා කැපීමට සැරසෙන විට දරුවා මාවතේ ඉදිරියට දිව යන්නට විය ඒත් සමග කොන්දොස්තර දරුවා පසුපස දිව යමින් දරුවාගේ ශරීරය නැවත නැවත කපා වෙන් කලත් එම ශරීර අවයව ඒ සෑම වරම ඉබේම බද්ධ විය. මේ සිදුවීම දැක මගේ හිස කරකැවෙන්නාක් බඳු වූයේය ශරීරය අප්‍රාණික වී බිම ඇදවැටෙන්නට යන්නාක් මෙන් හැගුණ නිසා මා වෙව්ලන ශරීරයෙන් යුතුව රියදුරු ආසනය මත වාඩිවූයෙමි.
මද වේලාවකින් සහසිකයින් තිදෙනා මහලු ස්ත්‍රියගේ කෙස් වැටියෙන් අල්ලා ඇද ගෙන ආ අතර ඇගේ දෙපා සාහසිකයින් විසින් කපා දමා වෙනම රැගෙන ආහ. " නාකිච්චි පුදුම වදයක් දුන්නෙ දුවනවා මේකි කඟවේනෙක් වගේ බැරිම තැන කකුල් කැපුවා ..හහ්..බොහොම අමාරු වුනා මේකිව අල්ල ගන්න " සාහසිකයින් මහ හඩින් සිනාසෙමින් එලෙස පැවසුවේ මහලු ස්ත්‍රියව බස් රථය තුලට විසිකරය.
දෙපා අමු අමුවේ කපා දැමූ අයෙක්ට වේදනාව දැනීම සාමන්‍ය වුවත් මේ වයසක ස්ත්‍රිය වියරු ලෙස සිනාසීම මා හට පුදුමයට කරුණක් විය ඒත් සමග බස් රථය තුලට ආ කොන්දොස්තර මාහට මෙලෙස පැවසුවේය.
" හා යමු යමු අපේ අවසාන වැඩේ ඊලගට තියෙන්නේ "
" බෑ මම එක අඩියක් ඉස්සරහට බස් එක ගන්නෙ නෑ මට කියනවා මොකක්ද මේ වෙන්නෙ මේ කොහෙටද අපි ඇවිත් ඉන්නෙ කියලා " මම දැඩි හඬකින් පැවසුවෙමි." හොදයි මම හැම දේම කියන්නම් යන ගමන් බස් එක ගන්නවකෝ " කොන්දොස්තර වරයා එලෙස සන්සුන්ව පැවසු හෙයින් මා රථය ඉදිරියට ගමන් කරවන්නට පටන් ගත්තෙමි ඉන්පසු සාහසික පිරිස දෙස බලා කොන්දොස්තරවරයා මෙලෙස පැවසුවේය. " ඊලගට හම්බ වෙන්නෙ භයානක කමේ උපරිම යටම පත් වුන කෙනෙක් එතනදි මට තමුසෙලට උදව් කරන්න වෙන්නෙ නෑ " එලෙස පවසා අවසන්ව මදෙසට හැරී කොන්දොස්තරවරයා මෙලෙස පවසන්නට වූයේය. " මේ අමුනූෂය ලෝකය මෙතන ඉන්න හැම කෙනාම මිය ගිය අය මේ කතා කරන මම පවා මිය ගිය කෙනෙක් මේ වෙන කොට මනුෂ්‍ය ලෝකෙ යන්ත්‍ර මන්ත්‍ර වලින් අමුනූෂයයින් මෙල්ල කරපු අය මිය ගිහින් හැම තැනම දැන් බොරු කරන ගුරුන්නාන්සේල ඉන්නෙ ඒ නිසා මේ අමුනූෂය ලෝකෙ ඉන්න මනුස්ස ලෝකෙ අයට මෙල්ල කරන්න බැරි භයානක අමුනූෂයයින් අපි අවුරුද්දකට සැරයක් ඇවිත් අරන් ගිහින් වෙනම තැනක හිර කරනවා මෙතනදි අපිට මනුස්ස රියදුරෙක් ඕන කරනවා අමුනූෂය ලෝකෙට එන්න ඒකයි ඔහේ මේ බස් එකේ රියදුරා විදිහට කටයුතු කරන්නෙ ඒ වගේම මේ අමුනූෂයයින් මැරුවත් කැපුවත් තමුසෙට නීතියෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද මේ අමුනූෂයයෝ . ඉතින් මම කවුද කිව්වොත් මම තමා මාරයාගේ දූතයා මට පුලුවන් බස් එක මනුස්ස ලෝකෙට අරන් එන්න විතරයි එතනින් එහාට මට බෑ අමුනූෂය ලෝකෙට එන්න දැන් හැම දේම දැනගත්තනේ එලිවෙන්න කලින් අවසාන දඩයම කරමු " කොන්දොස්තරවරයා එලෙස පවසා ආසනයකින් වාඩි වූ අතර මා බස් රථයේ වේගය උපරිම වැඩි කලෙමි .
පැයකට පමණ පසු අප පැමිණියේ මුඩු බිමක් වෙතටය එක්වරම පොලව දෙදරවමින් අඩි අටක් පමණ උසැති භයානක අමුනූෂයෙක් බස් රථය ඉදිරිපිටට පැමිණි හෙයින් ඇසිල්ලකින් මා බස් රථය නතර කර ගත්තෙමි එවිට රථයේ සිටි සාහසිකයින් තිදෙනා ඔවුන්ගේ ආයුධත් රැගෙන බස් රථයෙන් පිටතට ගොස් එම භයානක අමුනූෂයයා සමග සටන් කරන්නට විය නමුත් අමුනූෂයාගේ ශක්තිය හා සටන් කිරීමේ හැකියාව සමග සාහසිකයින් තිදෙනා හට හැරෙන්නටවත් නොහැකි විය මේ දුටු විලංගු ලා සිටි යුවතිය වියරු ලෙස සිනාසෙමින් මෙලෙස පවසන්නට වූවාය. " ඉවරයි උඹලා ඔක්කෝම අද ඉවරයි හීහ් හිහ්..හිහ්..හිහ්..හී.. " කොන්දොස්තරවරයාද හිස පහතට කරගෙන ආසනයක් මත වැතිර සිටි නිසා ජීවිත ආශාව ඉවත හල මා සාහසිකයින්ගේ උදව්වට යාමට සිතුවෙමි. බස් රථයේ ඒ මේ අත බැලූ විට මට දක්නට ලැබුණේ විශාල දැලක් වැනි යමක්ය මා එයද රැගෙන බස් රථයෙන් බිමට බැස්සෙමි එවිට කොන්දොස්තරවරයා පහත් හඩින් මෙලෙස කෙඳිරිගාන්නට වූයේය...."හරියටම හරි ඕක තමයි ඌව මෙල්ල කරන ආයුදේ අර තුන් දෙනාට ඒක අරන් යන්න අමතක වෙලා තමුසෙ මනුස්සයෙක් නිසා දුර්වලයෙක්ට ඕක හරියට දාන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ " මනුස්ස ජාතිය දුර්වලයි කියූ කතාවට කොන්දොස්තර හා දැඩි කෝපයක් ඇති වුනත් මා ඔහුට මුවින් නොබැන වහා දැලත් රැගෙන භයානක අමුනූෂයයාගේ පිටුපසින් ගොස් සියලු වැර යොදා දැල අමුනූෂයයා වෙත විසි කලෙමි
එකෙනෙහිම එම දැල අමුනූෂයයාගේ ශරීරය වසාගෙන ඔහුව අඩපණ කලේය.
" හරියටම හරි තමුසෙ තමුසෙව විතරක් නෙමේ අපිවත් බේරුවා දැන් ඉතින් අදට වැඩ ඉවරයි ආපහු යමු " කොන්දොස්තරවරයා පැමිණ මගේ උරහිසට තට්ටු කර එලෙස පැවසුවේය. පසුව සාහසිකයින් දැලෙන් එතූ අමුනූෂයයාව බස් රථය තුලට ඇද දමා වාඩි වූහ ඉන්පසු බස් රථයේ රියදුරු ආසනයෙන් වාඩි වූ මා දුටුවේ අවට පරිසරය ඝන දුමාරයකින් වැසී ඇති බවයි" මොකුත් හිතන්නැතුව බස් එක වේගෙන්ම ඉදිරියට ගන්නවා මිත්‍රයා " කොන්දොස්තර එලෙස පැවසූ හෙයින් කිසිවක් නොසිතා බස් රථයේ වේගය උපරිම වැඩි කර ඉදිරියට යන්නට වීමි. විනාඩි දහයකින් පමණ එක්වරම අවට පරිසරයේ දුමාරය වියැකී ගිය අතර අප ගමන් කල බස් රථය මගේ නිවස අද්දරට පැමිණ තිබින මා නිවස සමීපයේ බස් රථය නතර කල විට විශාල බෑගයක් මවෙතට දිගු කල කොන්දොස්තර මෙලෙස විමසුවේය. " මෙන්න අද දවසේ තමුසෙගෙ වැටුප මොකද කියන්නේ ලබන අවුරුද්දෙත් ඔහේ එනවද අපිත් එක්ක දඩයමේ යන්න "මා මුදල් පිරි බෑගය සුරතට ගෙන ඔහුට මෙලෙස කීමි. " මම කල්පනා කරලා කියන්නම් " ඉන්පසු කොන්දොස්තර මෙලෙස පවසා බස් රථයේ රියදුරු අසුනෙන් වාඩි වූයේය. " හොදයි අවුරුද්දක් තියෙනවා තමුසෙ හොදට කල්පනා කරලා බලනවා " ඉන්පසු බස් රථයෙන් මා බැස ගත්තාට පසු බස් රථය පවනට බඳු වේගයෙන් ඉදිරියට ගොස් මාවතේ වූ විශාල නුග ගසක් තුලට වැදී නොපෙනී ගියේ මා මවිත කරමින්ය .
ඉන්පසු මා ලබා ගත් මුදල් කොටසක් ඉතිරි කර අනෙක් කොටසෙන් අවුරුද්ද පුරා සැපවත් ජීවිතයක් ගත කලෙමි ඒ අතරම මා පුරාණ පොත් පත් හී මන්ත්‍ර ශාස්ත්‍ර සහ අමුනූෂයයින් මෙල්ල කිරීමේ ක්‍රම ප්‍රගුණ කලෙමි මන්ද මා හට සිතුනේ එදින රාත්‍රිය කෙතරම් භයානක වූවත් එම රැකියාව නිසා මනුස්ස ලෝකයටද සෙතක් වන හෙයින් නැවත අමුනූෂය දඩයමේ යාම උචිත බවයි. මාස ගණනාවක් ගත වී දඩයම් බස් රථය පැමිණෙන දිනයට තවත් දින තුනක් තිබුණත් මාහට ගැටළුවක් වී තිබුණේ මා කෙසේද නැවත බස් රථයේ රියදුරු රැකියාවට පැමිණෙන බව කොන්දොස්තර වරයාට පවසන්නේ කියායි . එදින සවස් යාමයේ එක්වරම අවට පරිසරය අදුරු වී තද ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට වූයේ අනපේක්ෂිතව නිවස ඉදිරිපිට සිටි මා හට දක්නට ලැබුණේ වර්ෂාවේ තෙමෙමින් මදෙසට හෝටලයේදී මාහට බස් රථ රැකියාව ලබා දුන් තැනැත්තා පා නගන අන්දමය ඔහු මාගෙ අසලටම පැමිණ මෙලෙස විමසුවේය. " දැන් මොකක්ද තමුසෙගේ තීරණය ආපහු එනවද බස් එක එලවන්න " ඔව් මම අනිවාර්යයෙන්ම එනවා " මම පැවසුවෙමි.
ඔහු මගේ උරහිසට තට්ටු කර මෙලෙස පැවසුවේය. " මම දැනගෙන හිටියා තමුසෙ එන බව එහෙනම් ලෑස්ති වෙලා ඉන්නවා තව දවස් තුනකින් හරියටම රෑ අටට බස්එක තමුසෙගේ ගේ ඉස්සරහ ඇවිත් නතර කරයි " එලෙස කියා ඔහු ධාරානිපාත වර්ෂාවේම නැවත ආපසු යන්නට ගියේ සන්සුන් ගමනින්ය.
නිමි.