එක

පරිච්ඡේදය 1 | kum 18 වාර කියවා ඇත 0 අදහස්

පාළු අහස් කුසෙහි එකදු සුදු වළාකුලක් හෝ නොවීය. වැහි බීරමට බියෙන් හැකිළී ගිය පාළු අහසක් පමණක් ඉතිරි වී තිබුණි.


කළුවන් වූ මහා මේඝය සෙමෙන් සෙමෙන් ඒ පාළු අහස ගිල ගනිමින් සිටියේය. ඇඟ හිරිගඩු පිපෙන සීතල සුළගක් හමාගියේ ළඟ එන මෝසමේ පණිවිඩ කාරයෙකු මෙනි.


නිමන්ත ගල් බැම්ම මත වාඩි වී දැන් පැයකට ආසන්න වන්නට ඇත.එහෙත් නැඟිට යන්නට දෙපා වාරු නැතුවා මෙනි.

'තව චුට්ටකින් නැඟිටිනවා'

තමාටම කියාගත් ඔයු නැවත නෙත් හෙළුවේ පාළු අහසටය.


තමාගේ ජීවිතයත් මේ පාළු අහසට සමාන වූවක් නොවේදැයි ඔහුට සිතුණේය. එනමුදු පුංචි පුතු ඒ පාළු අහස මැද හිඳගෙන සිටිද්දී ඔහු ජීවත් වන්නට නැවත වාරු ගත්තේය. ජීවිතයට පුංචිම හෝ ආලෝක බ්ඳක් වැටේනනම් ඒ පුංචි පුතුගේ කිරි සිනාව ළඟදිය.


ජීවිතයේ තමා මේ තරමටම පරාද කරලන්නට පිදූ උතුම් සෙනෙහස කුරිරු වූයේ කෙසේදැයි නිමන්තට අදත් සිහිනයකි.

"පොඩි පුතා.... මොකක්ද දරුවෝ දැන් කොච්චර වෙලාද ඔතන වාඩි වෙලා එන්න ගේ ඇතුළට හතර වටින්ම වැහැගෙන එන්නෙ අන්න චූටි පුතාත් අවධි වෙලා අප්පච්චි හොයනවා.."


නිමන්තගේ සිහින ලොව බිඳුනේ අම්මගේ හඩිනි.


"පුතාත් නිදි නිසා කම්මැලි හිතුණා අම්මේ..."


"ම්හු... මං පුතාට කිරි එක හදාගෙන එන්නම් යන්න ගිහිං බලන්න දැන් ඇඳෙන් පනීවි "


නිමන්ත කාමරයට යනවිට පුතු නැවතත් නින්දට වැටී සිටියේය.


ඇඟිල්ලක් කටේ දමාගෙන උරමින් නිදියන පුතු දකින හැම මොහොතකම නිමන්ත හදවතින් හඩා වැටුණේය.


මාස තුන හතරක් වෙද්දීම අම්මාගේ කිරි සුවඳින් පලවා හැරි දරු පැටියා තමාගේ උණුසුමට නතුව ආච්චි අම්මා කිරි අම්මා කරගත් හැටි සිහි වී නිමන්ත සුසුම් හෙළුවේ අද පමණක් නොවේ.


'ඔව් පුතු ඔයාගෙ ඔය මුහුණ දකින හැම වෙලාවෙම මේ අප්පච්චියා අඬනවා රත්තරං '


නිමන්ත පහත් වී ඒ නලළ සිප ගත්තේ උතුරා ගිය සෙනෙහසිනි


"චූටි පුතා නිදිද පුතේ මෙන්න මං කිරි එකත් හැදුවා"

නිමන්තගේ මව කාමරයට ආවේ එසේ අසාගෙනය.


"තව චුට්ටකින් අවධි වෙයි අම්මේ බලන්න ඇඟිල්ලත් කටේ ඔබාගෙන නිදියන ලස්සන "


එවදන් හමුවේ සීලවතී හාමිනේ බැළුවේ තමාගේ පොඩි පුතාගේ මුහුණ දෙසය.

ජීවිතයේ සුන්දරම කාලය අඳුරට යද්දී චූටි පුතුගේ කිරි සිනා ළග ජීවිත නැවතුම තබා සිනාසෙන 'පොඩී' ගැන සිතා සීලවතී හාමිනේ හැමදාම සිතින් දුක් වින්දාය. එහෙත් කුමක් කල හැකිද විඳින්නට දුන් ජීවිතය විඳවනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැත.


"මෙන්න ඔයාගෙ තේ එක. වෙනදා නම් වැඩ ඇරිලා ආපු ගමන්ම ඉල්ලන්නෙ තේ නේද. දැන් ඒවත් නෑ.. ඇයි පොඩි පුතා ...උඹ ඔහොම ඉදිද්දි මට වාවන්නෙ නෑ දෙයියනේ..."


සීලවතී හාමිනේගේ හඩ පැටළුණේය. දෙනෙතින් වැටුණු කදුළු රහසේම පිස දා ගත් ඇය පුතු දෙස බලා සිටියාය.


"මට හරිම මගන්සියි අම්මා..."


නිමන්ත කියද්දී ඔහුට නොදැනුවත්වම සුසුමක් පිට විය.


"බෙහෙත් ටිකක්වත් ගනිමුද ගොඩක් දවසක ඉඳලනේ ඔයාට ඔය ලෙඩ"


සීලවතී හාමිනේ පුතු ළග වාඩි වී හිස අත ගෑවාය. ඒ ආදරය නිමන්තගේ හදවතට හැමදාම ළගය. එය එදත් අදත් හෙටත් එසේය.


"ඕනි නෑ අම්මේ මේක ඇරිලා යාවි ඔෆීස් එකේ මේ දවස් වල වැඩ වැඩියි ඒකයි මේ..."


නිමන්ත පැවසුවේ ඒ දෙනෙත් මඟහැරය.බෙහෙත් වලින් සුව කරගත හැකි අසනීපයක් තමාට නැති බව නිමන්ත මෑණියන්ට පැවසුවේ නැත. හදවතේ හැමදාම ඇදුම් කන තුවාලයට බෙහෙත් දෙන්නට කවුරුන් නම් සමත් වේවිද.


පිළිවෙලට ඇන්ද පැළැන්ද පොඩි පුතුගේ අද තත්වය දැක සීලවතී හාමිනේ සුසුම් හෙළුවේ අද පමණක් නොවේ. සැහැල්ලුවත් දඟකාරකමත් පොඩි පුතු වෙතින් පළා ගොස් දැන් බොහෝ කල්‍ ය.


"මද්දු අය්යා පරක්කුයි නේද අම්මා.."


නිමන්ත ඇසුවේ මෑණියන් කල්පනාවක වැටී සිටිනු දැකය. තමාගේ ජීවිතයේ ශාපයට අසරණ ඇය විඳවිය යුතු නැත.


සීලවතී හාමිනේගේ පොඩි පුතා නිමන්ත වෙද්දී ලොකු පුතා අසේළ විය. විදේශයක රුකියාව කරන ඔහු මව් බිමට එන්නේ කලාතුරකිනි.


පොඩීටත් ලොකූටත් අතර සිටියේ මද්දුය.


මද්දු නිමන්තගේ ජීවිතයේම කොටසක් හා සමාන විය. හැම දුක සැපක්ම මේ සහෝදරයන්ගේ ජීවිත හා බද්ධ වී තිබුණේය.


පොඩි මල්ලී මේ විඳවන ජීවිතය දෙස බලා මද්දු අය්යා සිටියේ සතුටින් නම් නොවේ. එහෙත් හිරූෂ පොඩි පුතුගේ කිරි සිනා ළග ඒ දුක මොහොතකට මුත් ඉවත් ගිය බව නම් සැබෑවකි.


"දැන් එනවා ඇති.. ආ... ඔය ඇහෙන්නෙ බයික් එකේ සද්දෙ මං කිව්වා මාකට් එකටත් ගිහිං එන්න කියලා.."


අම්මා ඉක්මනට එන්න

මද්දු මැරෙන්න බොහෝම කිට්ටුයි.."


"ඇයි දරුවෝ කෑ ගහන්නෙ මේ එනවා..."


මද්දු අය්යා බඩු බෑග් දෙක ඔසවාගෙන සිටි විලාශය දකිද්දී නිමන්තට් සිනහ නොවී සිටිය නොහැකි විය.


",මොකද උඹ හිනාවෙන්නෙ අම්මා මට වතුර එකක් ගෙනත් දෙන්න. " මද්දු පැවසුවේ නිමන්ත දෙසට ඔරවාගෙනය.


"අප්පච්චී...."


"අන්න පැටියා අඬනවා හොඳ අප්පච්චි මෙතන මගෙන් මුකුත් අහගන්නෙ නැතිව පලයං පුතුගෙ ළගට."


නිමන්තට පා පහරක් ගැසූ මද්දු කෙළින්ම දිව ගියේ හිරූෂ ළගටය.

'මේ මේ මගෙත් පණ තමයි '


"ඇයි පුතූ .. අප්පච්චියා මැරිලා පැටියෝ..."


"මද්දු ගහනවා කටට පොඩි දරුවට කියන කතාද ඔය "


සීලවතී හාමිනේ සාලයේ සිටම කෑ ගැසුවාය. ඔහුගේ කටේ හැටි එසේය.


"මදු ආප්පේ මට ටොෆි ඕනි.."


"හරි පුතූ ගෙනාවා චුට්ටක් ඉන්නකෝ මං මුහුණ හෝදගෙන එන්නම් මගේ පුතු මෙතනම ඉන්නකෝ.."


මද්දු පුතු බිමින් තැබුවේ තව වරක් මුහුණ සිඹ ගෙනය.


යාන්තමට අවුරුදු තුන පිරුණු හිරූෂ ඇහිද ඇහිදා බහ තෝරද්දී ආදරය සිතේ.හිරූෂගේ ලොවේ මද්දු අය්යා මදු ආප්පේය.


මෙලොවට බිහිවන සෑම සිඟිත්තෙකුගේම මුලින්ම මුවින් පිටවන 'අම්මා ' යන වදන හිරූෂට අහිමිය.


ඒ මහා පව කළේ තමාදැයි නිමන්ත තමාගෙන්ම අසාගත් වාර අනන්ත විය.


සිඟිති දෙපා තබමින් ඇවිද එන පුතු දෙස නිමන්ත බලා සිටියේ අපමණ සෙනෙහසිනි.

හැමදාම ලෙස පුතු පැමිණ නතර වූයේ නිමන්තගේ ඔඩොක්කුවේය.


"මගේ මැණික බඩගිනිද.."


"මී... බඩගිනියි.."


සුරතල් කමට මුමුණන වදන් අසා සිටීමට සිතේ..


"ඉන්න මං ආච්චි අම්මට කියන්නම් කිරි එක ගේන්න කියලා.."


සීලවතී හාමිනේට දැන් වෙලාව ගත වෙන්වා නොදැනේ.

වැරැද්දක් වූ බව සැබෑවකි. අම්මෙක් නොමැති දරුවකු සමඟ පුතා තනි වෙද්දී මේ අම්මාත් දුක් නොවින්ඳා නොවේ.


නමුත් ඒ අකාරුණික ලොවෙන් දුන් තෑග්ගට සීලවතී හාමිනේ පණට සමව ආදරය කළාය. ඇයගේ මුළු ලොවම දැන් හිරූෂ පැටියා ළගය.


යාන්තමින් අවුරුදු විසිහතර පිරුණු පොඩි පුතා අප්පච්චී කෙනෙකු වෙද්දී තමා ආච්ච් අම්මා වූ හැටි ජීවිතය එසේය. සිතන පතන හැම පැතුමක්ම ඉටුවන්නේ නැත.කවදාවත් නොසිතූ දෙයක් සිදු වුවද එය සුන්දර යැයි සිතා බාර ගත යුතුය.

නමුදු පොඩි පුතුගේ දෑසේ කලාතුරකින් දිනෙක දකිනා කදුළු බිඳු නම් සීලවතී හාමිනේගේ හදවත පුච්චන්නට සමත්ය.


නිමන්ත කෙදිනකවත් දුකෙන් සිටිනා බවක් අම්මාට නොඇඟෙව්වේය.

මුළු හදවතින්ම සිනාසෙන්නට නොහැකිමුත් ඔහු සිනාසුනේය.

පුතු පැටියා ළග ආදරණීය අප්පච්චියා විය.


අම්මාගේ දඟකාර පුතු විය.


හදවත පතුලේ සිට දෝංකාර දෙමින් කඩා හැළෙන කදුළු ඇල්ලට පිටතට එන්නට නොදී වාං දොරටු වසා දැම්මේය.


===============================


හිරූෂගේ පුංචි ලොව අබියසට මව් සෙනෙහසක සෙවනැල්ලක්...


නිමන්තගේ පාළු ලොවට ප්‍රාර්ථනාවක් පමණක් වූ සෙනෙහසක්


🩷 සෙනෙහසින් නැවත හමු වෙමු🩷


================================


"මද්දු.. පොඩී.. එන්න කන්න.."


සීලවතී හාමිනේ රෑ 8 වන විට කෑම පිස අවසන් කරන්නීය. තිදෙනාම එක්ව කෑම කන්නේ ඉන් පසුවය.

චූටි පුතා හිරූෂ ඔවුන්ට එක් වූ පසුත් මේ දින චරියාවේ වෙනසක් නොවීය.


හිරූෂ හත අට වෙද්දීම නිදා ගනී. බත් කටක් කවා ගන්නට ආච්චි අම්මාට කතා දහසක් කියන්නට සිදු වේ. හඳ මාමා කිරි පැණි රැගෙන ඉක්මනින් එන බව කියන්නට සිදු වේ. නැතිනම් වසා ගන්නා හිරුෂගේ මුව විවර කිරීම පහසු නැත.


" කෝ... පුතූ නිදිද පොඩී...."

"ඔව් බං යාන්තමට නිදියගත්තා. අනේ මංදා ... මට මේ දේවල් තේරෙන්නෙ නෑ මද්දූ...."

නිමන්තගේ මුවින් පිට වූයේ දිගු සුසුමකි.


'පව් අහිංසකයා' මද්දු අය්යාට සිතුණේය.


පුතු පැටියාත් පව්‍ ය. පොඩි මල්ලීත් පව් ය. මේ දේවල් අහන දකින තමාත් පව් ය.


" මං පතවල කන්නෙ නෑ. "


හැමදාම ලෙස නිමන්ත තම කෑම වට්ටෝරුවේ රුචි අරුචිකම් ඉදිරිපත් කරන්නේය.


" ඔව් ඉතිං ඔයාට ගුණ එළවලුවක් කන්න බැහැනේ. මද්දු පුතා ඔයා කනවා නේද.."


"ඔව් ඔව් තියන හැම දෙයක්ම බෙදන්න අම්මා "

මද්දු එහෙමය.කන බොන දේවල් වල තේරීම් නැත. පොඩීට එහෙම නොවේ. එළවලු වර්ග සියයක් ගත හොත් ඉන් අනූවක් ඔහු නොකන ගොඩට වැටේ.

එහෙත් ජීවිතයේ වැදගත්ම තීරණයක් ඔහු තෝරා බේරා ගත්තේ නැත.


"මං අර ඔයාලට කිව්වෙ මෙහේ බෝඩිම් වෙන්න ඇහුවා කිව්ව ළමයෙක් ගැන. ඒ ළමයා අහලා එවලා එන්නද කියලා. මං දන්නෙ නෑ ඉතිං මං කිව්වා ඔයාලා දෙන්නගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා.. "


" අම්මට වැඩ නැතිවටද අම්මේ බෝඩිම් ළමයෙකුත් අරගෙන. මං දන්නෙ නෑ. මොකක්ද මද්දු උඹ කියන්නෙ"


"මට නම් නෝ ප්‍රොබ්ලම්.. අම්මගේ කැමැත්තක් . ගම කොහේද ආ.. අහන්නත් බැරි වුනානෙ ස්ත්‍රී ද පුරුෂ ද "


" ගෑණු ළමයෙක් මේ ගම නම් ඈතක. මෙහෙ රස්සාව කරනවා කියන්නෙ මං දන්නෙ නෑ ඔයාලා අකමැති නම් මං කියන්නම් ඕනි නෑ කියලා..."


අම්මා එය පැවසුවේ සිතේ කැමැත්තෙන් නොවන බව නිමන්තට වැටහුණේය. අම්මාගේ කැමැත්තක් කර ගන්නට දී නිමන්ත නිහඬව සිටියේය.


"එහෙනම් එන්න කියන්න අම්මා... එයාගෙ රටාව බලලා හොඳ නම් තියා ගනිමු. නැති නම් ආ අතකටම යන්න කියමු. "


මද්දු දෙපැත්තම සිතා උත්තරයක් දුන්නේය. ගැහැණු ළමයෙකු නම් ඇයගේ ආරක්ෂාව පිළිබදව ප්‍රශ්නයක් ඇත. අද කොතෙකුත් රටේ ලෝකයේ සිදුවන දෑ සිදු වන්නට ඉඩ නොදිය යුතුය.


"ගමේ කෙල්ලෙක් නම් මෙහේ ජීවත් වෙන එකත් අමාරු වෙයි.මොකක්ද දන්නෙ නෑ කරන ජොබ් එක.."


"මං හිතන්නෙ මිසිස් රත්නායක කියපු විදියට පත්තර කන්තෝරුවක වැඩ කරන ළමයෙක් "


"එහෙනම් ලියන්නියක්.."


* * * * * * * * * * *


"චූටි දූ.... ඔයා කොහේද..."


"ඇයි අම්මා .... මං නාන්න යන්න හැදුවෙ.."


හිරුණි අම්මා අසළට ආවා නොව දිව්වාය. එක මොහොතක් ඇස නොගැසුණහොත් අම්මාට නිවනක් නැත.


"මං පහළ මාමාලාගේ ගෙදරට දුවලා එන්නම්. ඔයා නා ගන්න.."


හිරුණි අම්මාගේ මුහුණ දෙස බලා සිටියාය.අගේට පෙළ ගැහෙන කදුළු බිඳු නවතාලන්නට ඇය සිතුවේ නැත.


" ඕනි නෑ අම්මා ... එහේ යන්න එපා.."


"ඔන්න ඉතිං අඩන්න තියා ගත්තා. මේ වෙලාවෙ අතේ කීයක් හරි තියා ගන්න ඕනි දරුවෝ.. පස්සෙ දෙනකල් පහළ මාමා දෙන්නම් කිව්වා.."


"එපා මං සල්ලි හොයා ගත්තා.."


හිරුණි පැවසුවේ ඈත බලාගෙනය. දුප්පත් බව සැබෑය. එනමුත් නමට පමණක් නෑදෑයකු වූ ඔවුන්ගේ කිසිම දෙයක් අපට ඇවැසි නැත.


"මං චේන් එක බැංකුවෙ තියලා සල්ලි ටිකක් ගත්තා අම්මා.. පස්සෙ මට පඩි ලැබුනම බේර ගන්නම්.."


අම්මා දියණිය දෙස බැලුවේ අසරණ ලෙසිනි. හැමදෙයක්ම තිබෙන්නේ සිතේය."


"චූටි දූ... ඔයා කාගෙන් අහලද චේන් එක බැංකුවෙ තිබ්බෙ බලන්න දැන් කර පාළුවට ගිහිං කොලඹ රටේ හිඟන්නි වගේ යන්න පුළුවන්ද දරුවෝ..."


"මට මේනු එයාගෙ පොඩි චේන් එක දෙන්නම් කිව්වා. කොලඹ රටේ ගියත් මේ ගමේ හිරුණි කෙල්ලම තමයි අම්මගෙ චූටි දුවමයි. වෙනසක් නෑ.."


"ම්.... ඔයා ඉතිං පණ්ඩිතයනේ. මං දන්නෙ නෑ හවස් වෙන්න කලින් ගිහිං නාගෙන එන්න.."


අම්මා කිව්වේ සිතේ සතුටින් නොවේ

නෑදෑයින් සපිරිවරින් සිටිනා බව ඇත්තය.

නමුත් උදව්වක් උපකාරයක් ඉල්ලූ විට ඔවුන් නෑදෑයින් නොවේ.

දියණියගෙන් තොර ලෝකයක් මේ අම්මාට නැත. එහෙත් හෙට මේ ආදරණීය දෑසෙන් ඔබ්බට යා යුතුය. මේ ජීවිතය සැපවත් කරන්නට රන් මසු සොයා යා යුතුය.

එහෙත් අම්මාගේ චූටි දූ යන්නේ සතුටින් නම් නොවේ. අප්පච්චී කෙනෙකුගේ උණුසුමක් රැකවරණයක් නොලද්දී හැදුණේ වැඩුණේ ඔය උණුසුමේ පමණි. නොකැළැල් කුසුමියක ලෙස මේ රුදුරු ලොවෙන් තමාව රැක ගන්නට අම්මා විඳි දුක නොදන්නවා නොවේ. ඒත් ඒ දෝනිට හැමදාම රැකවරණය දෙන්නට ඔය දුප්පත් හිතට බැරිය.

වාරු නැති නුඹ දෑතට සවියක් වන්නට යටට ගිළුණු දෑසේ පණ ගැහෙන හීන ජය ගන්නට ඒ දෝනී යා යුතුමය.




2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!