දහය
පරිච්ඡේදය 10 | kum 3 වාර කියවා ඇත 0 අදහස්
"මද්දු පුතා..දරු පැටියට හොඳටම උණ.."
සීලවතී හාමිනේ මද්දුගේ කාමරයට එබී පැවසුවේ බිය රැඳි දෙනෙතිනි. එනමුදු අම්මා සමඟ සමඟ කතා කරන්නට හෝ මද්දුට හිත දුන්නේ නැත. ඒ අහිංසකයාගේ ලොවේ තිබූ ආදරණීයම බැම්ම කඩා සුණු විසුණු කලේ අම්මාය. පුංචි දරුවනගේ හිත් තලා පෙළා දමන්නට හොඳ නැති බව අම්මාට පසු ගිය කාලයේ මතක තිබුණේම නැත.
පුතුට ආදරණීයම මවක් වූ හිරුණි නංගී නිවසින් පන්නා දමන්නට ඇවැසි වූයේ අම්මාටය.
ඇය මේ නිවසින් ගිය දින පටන් කෑම බීම ප්‍රතිකේෂ්ප කරමින් සිටි පුතු දැන් අන්ත අසරණ ලෙස රෝගී වී ඇත.
"මද්දු දරුවා දොස්තර කෙනෙක් ළගට අරගෙන යමු. මට නම් තවත් බලාගෙන ඉන්න බෑ.."
අම්මාට කිසිඳු පිළිතුරක් නොදුන් මද්දු ඇඳුමක් දමාගෙන දරු පැටියා නිදා සිටි කාමරයට ගියේය. ඒ අහිංසක දෙනෙත් මළානික ලෙසින් පියවී තිබුණි. මේ සතිය තුළ පුතු බොහෝ සෙයින් කෙට්ටු වී තිබුණේය. ඒ මුහුණ දකිද්දී මද්දුගේ පපුව ඇවිලී ගියේය. මද්දු දරු පැටියාත් රැගෙන නිවසින් එළියට බැස්සේ යන්නේ කොහිදැයි සිතාගෙන නොවේ.
" ඉන්න මමත් එනකල්.."
"එපා අම්මා ඉන්න. මං බෙහෙත් අරගෙන එන්නම්.."
පසුගිය කාලය තුළ මේ පැටියා සිටියේ කෙතරම් සතුටින්ද. ඒ සතුටේ උල්පත අද සිඳී ගොස් ය.
අද නිවාඩු දවසක් බැවින් උදෑසන නිවසින් පිට වූ පොඩි මල්ලී සිටින්නේ අවිශ්කලාගේ නිවසේ වන්නට ඇත.
යද්දී මඟ දිගට පුතු විමසුවේ අම්මා.. අප්පච්චී.. ගැනය. ඒ දෙදෙනාම දැන් මේ අසරණයා ළග නැත. ඒ ඇස්වල තිබූ ආයාචනය දකිද්දී මද්දුගේ ඇස් වලට කදුළු ආවේය.
මද්දු පුතුත් රැඟෙන අවිශ්කලාගේ නිවසට යද්දී නිමන්ත එහි සිටියේය. නිමන්ත ඔවුන් දෙදෙනා දකිද්දී ඇස් උඩ ගියේ ඉබේටමය.
"මද්දු.. ඇයි මගේ පුතු පැටියට මොනවද වුනේ.."
මද්දු අය්යා කිසිවක් කිවුවේ නැත. නිමන්ත මද්දු වෙතින් පුතු ගත්තේ අවසිහියෙන් මෙන් ය.
" මගේ රත්තරං ඔයාට මේ මොනවද වුණේ.. මද්දූ.. මගේ පැටියට මොකද වුනේ.."
"මොනවද වුනේ කියලා හොයලා වැඩක් නෑ පොඩී.. අපි මේ සිද්ධ වෙලා තියන දේට ප්‍රතිකාරයක් කරමු.. "
ඔවුන්ගේ හැඬ ඇසී ඒ අසළට ආ අවිශ්කගේ අත හිසට ගියේ ඉබේටමය.
" මගේ දෙයියනේ.. මේ මොනව වෙලාද පුතුට.."
යන මඟ දිගට නිමන්ත කලේ පුතු තුරුළු කරගෙන සිඹීමය. තමාට පුතු පැටියා මඟ හැරුණා දැයි සිතුවේ තමා ගෙනම ඇති වූ කළකිරීමෙනි. ළග දැවටෙමින් සැම විට ඇසුවේ අම්මා ගෙදර එන දිනයක් ගැනය. ඒ පැනයට පිළිතුරු සොයන්නට මේ අප්පච්චියා සමත් වූයේ නැත.
"අපි ඩොක්ටර් ජයසිංහ ළගට යමු නේද මද්දු අය්යා.."
දරුවා පරීක්ශා කර බැලූ වෛද්‍යවරයා නිමන්ත දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැඳි නෙතිනි.
"මේ බබගේ හාට් එකේ ගැටළුවක් තිබුණද.."
ඉපදී සතියක් වැනි කාලයකදී පැටියා අසනීප වී රෝහල් ගත කළ අතර එහිදී හදවතේ ගැටළුවක් ඇති බව පවසා එකෝ පරීක්ශණයක් සිදු කළ බව නිමන්තට සිහි විය. නමුත් එම පරීක්ශණයේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බව වෛද්‍යවරු පැවසූහ. නැවත එකෝ පරීක්ශණක් සිදු කිරීම අවශ්‍ය බවක් පැවසුවේ නැත.
නිමන්ත මෙම විස්තරය වෛද්‍යවරයාට පැවසුවේ සැකමුසු සිතිනි.
"ඕකේ.. බය වෙන්න එපා.. මිස්ටර් නිමන්ත සමහර විට බබාගේ හදවතේ ඒ ගැටළුව තවම සාමන්‍ය මට්ටමක තියෙනවා වෙන්න පුළුවන් අපි ආයෙත් එකෝ එකක් කරලා බලමු..."
"තව එකක් මේ බබාට ලොකු ෂොක් එකක් දැනිලා තියනවා.. ඒ වගේ වුනාමත් පොඩි දරුවන්ට මෙහෙම වෙනවා.."
වෛද්‍යවරයාගේ වදන් හමුවේ කෑලි වලට කැඩී ගියේ නිමන්තගේ හදවතය. තමාගේ සතුට සොයන්නට ගොස් පුතු පැටියාගේ සතුට තමා උදුරා ගත්තා වැනි වරදකාරී හැඟීමකින් ඔහු වෙලා ගත්තේය.
"දරුවගේ අම්මා ආවේ නැද්ද. මේ වගේ අවස්ථාවක අම්මා අනිවාර්යයෙන් දරුවා ළග ඉන්න ඕනි. විශේෂයෙන් වගේ දරුවෙකුගේ මානසික, කායික හැම ක්‍රියාවලියකටම අම්මගේ සෙනෙහස බලපානවා.."
වෛද්‍යවරයාගේ මෙවදන් හමුවේ අවිශ්කට දෙන්නට පිළිතුරු නොවීය. ඔහුගේ බිමට නැඹුරු වූ දෙනෙතේ කදුළක් මෝදු වනු මද්දු මෙන්ම අවිශ්කත් දුටුවෝය.
"බබාගේ අම්මා නැති වෙලා ඩොක්ටර් "
මද්දු අය්යා වචන ගැට ගැසුවේ ආයාසයෙනි.
'අයෑම් වෙරි සොරි .. අම්මා නැති වුනේ ළගදිද.."
"නෑ.. පුතා ඉපදුනු දවස්වලමයි.."
වෛද්‍යවරයා හිස දෙපසට වැනුවේය.
"මොනවා වුනත් මේ බබාට ලොකු නොලැබීමක් වෙලා තියනවා. ඒකට බබා ෂොක් වෙලා.."
අවිශ්ක බැලුවේ මද්දු දෙසය. මද්දුගේ දෙනෙත් තිබුණේ නිමන්ත වෙතය. වෛද්‍යවරයා පවසන්නේ බොරු නොවේ. පුතුගේ ලොවේ දැල්වුනු ආදරණීයම මිණි පහන නිවී ගියේ ගිය සතියේය.
"හොස්පිටල් ඇඩ්මිඩ් කරන්න ඕනි නෑ. මේ බෙහෙත් දැනට දෙන්න. හෙට මේ එකෝ පරීක්ශනය කරගෙන ඇවිත් මට පෙන්නන්න. බලමු ඊට පස්සෙ. මිස්ටර් නිමන්ත දරුවා සතුටින් තියන්න.. "
මද්දුත් අවිශ්කත් බෙහෙත් රැගෙන එනතෙක් නිමන්ත පැටියාත් රැගෙන වාහනයට ගියේය.
'මගේ රත්තරං මට සමාවෙන්න පුතේ..' නිමන්තට ඔහුගේ සිත පාලනය කරගත නොහැකි විය. දැන් පුතුගේ ජීවිතය රැදී ඇත්තේ ඔහුට අම්මෙකු මෙන් සලකන අයෙකු අතේය.
මද්දු අය්යාට කිසිවක් සිතාගත නොහැකි විය. හිරුණි නංගීට මේ බව කිවහොත් ඇය පුතු රැක ගන්නට අපායට මුත් එනු ඇත. නමුත් එය තාවකාලිකය. ඇයට සැමදා ඔහු ළග රැඳෙන්න්නට අවසර නැත.
පොඩි මල්ලී මෙතෙක් කල් ඔහුට අම්මා මෙන්ම අප්පච්චී ද වී සිටියේය. ඉඳින් ඒ ආදරයේ අනුහසින් දරු පැටියා සුවපත් වනු ඇත.
සතියක් නිවාඩු දමා නිමන්ත පුතුගේ ජීවිතය වෙනුවෙන් කැපවිය. අම්මෙකුගේම ආදරය දෙන්නට නොදන්නා මුත් ඔහු ඒ සමානව පැටියා රැක ගත්තේය.
සීලවතී හාමිනේ ළග දැන් එක මොහොතක් පුතු තබන්නට බැරිය. අම්මා ගෙදර නොඑන්නේ ආච්චි අම්මා බනින නිසායැයි පුතු සිතා සිටින්ණේය.
"අප්පච්චී.. අපි හවසට අම්මා බලන්න යමු.."
පුතුට දෙන්නට පිළිතුරක් නිමන්ත ළග තිබුණේ නැත. ඉවතට හැරී සුසුමක් හෙළුවේ ඒ නිසාය.
"අප්පච්චී..ආච්චි අම්මට හොරෙන් අපි යමු. අපි අම්මව හොරෙන් අරන් ඇවිත් අපේ කාමරේ හංගලා තියමු අප්පච්චී .."
පුතු එවදන් කියා නිමන්තගේ ගෙළ බදා ගත්තේය. පුතු කියූවක් නොකර ඉඳ නැත. එනමුදු මේ ඉල්ලීම කෙසේ ඉටු කරන්නද. 'අම්මා අපේ නොවේ.'
"අපි හවසට පන්සල් යමු පුතූ.. අද පෝයනේ.."
කියා ගන්නට දෙයක් නොමැතිව අවසන නිමන්ත කිවුවේය. එය හිස වනා පිළිගත් පුතු නැවත ප්‍රශ්න ඇසුවේ නැත. මේ අප්පච්චිගේ හදවතේ ඇදුම් කන තුවාලයේ වේදනාව පුතුටත් දැනුනා සේය.