අට
පරිච්ඡේදය 8 | kum 8 වාර කියවා ඇත 0 අදහස්
නිමන්‍තගේ කාමරයේ කර්ටන් එක එහාට වනු දැක නිමන්ත ඒ දෙස බැලුවේය. දුටුවේ පුදුමයෙනුත් කෝපයෙනුත් ඔවුන් දෙස බලා සිටින අම්මාය.
"පොඩි පුතා..."
ඇයට කියන්නට වචන නැත. හිරුණි දෙස දවා හළු කල හැකි තරමේ බැල්මක් හෙළුවේ ගොළු වූ මුවිනි.
"උඹට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද බං මහ රෑ කොල්ලන්ගෙ කාමර වලට රිංගන්නෙ. අනේ අනේ ඉන්නෙ නම් උපාසක හාමිනේ වගේ."
හිරුණිට ඒවාට දෙන්න උත්තර තබා සිටිනා තැනක නිච්චියක් තිබුණේ නැත. එනමුදු ඇයගේ සිතට බියක් හෝ තරහක් දැනුණේ නැත.
"අම්මා කට තිබුණු පලියට දොඩවන්න එපා. මමයි හැමදේටම වැරදි. මට බනින්න. මම නිසා නිකරුණේ ඒ කෙල්ලට බනින්න එපා.."
නිමන්ත කිවුවේ අම්මා දෙස කෙළින්ම බලාගෙනය. හතර පෝයට සිල් ගන්නා අම්මා මේ තරම් නපුරියක යැයි ඔහු සිතුවේ නැත. මේ තරම් කාලයක් ඇයට උදව් කරමින් පුතු පැටියාට අම්මෙකු වූ මේ කෙල්ලට අම්මා කතා කල හැටි වැරදිය.
"ඔව්.. ඔව් මම දන්නවා ගින්දරයි පුළුනුයි එක ළග තියපු මං තමයි වැරදි. ඒත් හිරුණි මං උඹව විශ්වාස කලා මුන් දෙන්නට වැඩිය.."
වෙනදා ආදරයෙන් චූටි දුව යැයි කී මුවින්ම අද හිරුණි යැයි කිව්වේ කෙසේදැයි ඇය සිතුවාය. විශ්වාසය කැඩීම ප්‍රධානම වරද බව ඇය දැන ගත්තාය. පොඩි අය්යාගේ දුක්බර දෑස අභියස නොසැලී සිටින්නට නොහැකි වීම මේ සියල්ලටම මුල බව කියන්නට ගියේ නැත. බිත්තියට හේත්තු වී සියල්ලන්ම කියන දෑ අසා සිටියා මිස හිරුණි එකදු වදනක් තම නිදහස වෙනුවෙන් කතා නොකළාය.
"මද්දු උඹත් දැනගෙන නේද හිටියෙ. "
එවර සීලවතී හාමිනේ කඩා පැන්නේ මද්දු අය්යා වෙතටය.
ලේනාට පේර ගස බාර දී අම්මා දැන් විප්ලව කර පලක් නැත.
"අම්මා චුට්ටක් කළබල නොකර මේක අහන්න. මට පොඩිත් එකයි මේ නංගිත් එකයි. මං කියන්නෙ ඇත්ත. මේ කෙල්ල බලෙන් පොඩීගෙ ඇඟේ එල්ලුනේ නෑ. ඒ කෙල්ලව ඕනි උනේ පොඩීට. මේ දරුවා ඉන්න තාත්තට.."
එසේ කී මද්දු බැලුවේ නිමන්ත දෙසය. ඔහු නිසොල්මන් ය. මද්දු අය්යා කියන්නේ බොරු නොවේ.
"මේ දරු පැටියා සතුටින් ඉන්නවනම් ඒ මේ නංගි ළගදි කියලා අම්මත් දන්නවනේ. අම්මත් කියනවා පොඩි මල්ලි දරුවෙක් හිටියට පොඩි කොල්ලෙක් නේද කියලා ඉතිං මේ කෙල්ල ඒ පැටියට වගේම තාත්තටත් ආදරේ කලා. ඒ වුනාට එයා දැනගෙන හිටියා අම්මා මේවට කවදාවත් කැමති වෙන්නෙ නෑ කියලා. දැන් අම්මම ඒක ඔප්පු කරලා පෙන්නුවනේ. ඉතිං ඒ නංගි කොහොම හරි හිත හදා ගෙන ඉන්න හැදුවත් අපේ එකා පිස්සු නැටුවා. මේ දැන් මමයි මේ නංගිට කිව්වෙ පොඩි මල්ලිට කතා කරන්න කියලා. මේ ඉන්නෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි. අම්මා මොනවා හරි දෙයක් දැක්කනම් ඒක වලත්‍ත කම කියලා හිතන්න කලින් චුට්ටක් තේරුම් ගන්න. මේ කෙල්ල මගේ කවුරුත් නිසා කිව්වා නෙමෙයි. මං කිව්වෙ ඇත්ත."
මද්දු අය්යා කතා කලේ වේඟයෙනි. ඔහු කාමරයෙන් පිට වූයේ පාලනය කරගත නොහැකි කෝපයකිනි. අසාධාරණය හමුවේ මද්දුට ඉවසුම් දෙන්නේ නැත. වැරැද්ද නම් එය අම්මා තාත්තා තබා දෙවියන් කලත් වරදකි.
හිරුණි ගල් ගැසී මේ සියල්ල දෙස බලා සිටියාය. නැවත සකසන්නට නොහැකි ලෙස දැන් ඇන්ටීට මෙය වරදක් වී හමාරය. ඉඳින් හෙටින් එළබෙන ජීවිතය ගැන මේ රාත්‍රියේම තීරණයක් ගත යුතුය.