එකොළහ
පරිච්ඡේදය 11 | kum 27 වාර කියවා ඇත 0 අදහස්
හිරුණි දැන් සිටිනා බෝඩිමේද කියන්නට තරම් වරදක් තිබුණේ නැත. එනමුත් නවම් කලාපයේ බෝඩිම තරම් විසීමට ප්රියතාවක් නැත. ප්රියයන්ගෙන් වෙන්වීම දුකක් බව නම් ඇත්තය. පොඩි පැටියා සිහිවන විට දැනෙන දුක පහ වන්නේ දිගු සුසුමකිනි.
වයසක ජෝඩුවක් හා මැදිවිය ඉක්මවූ ඔවුන්ගේ අවිවාහක දියණියත් මේ බෝඩිමේ හිමිකරුවෝ වූහ. වැඩි කතා බහක් නොමැති ඔවුන්ගෙන් හිරුණිගේ හුදෙකලා ජීවිතයට කරදරයක් නම් සිදු වූයේ නැත.
ගෙදර ගිය දින ඉස්සර සිටි බෝඩිමෙන් අයින් වූ බව ඇය අම්මාට කිව්වේ සිදු වූ කිසිම දෙයක් නොකියාය. අලුත් බෝඩිම ඔෆීස් එකට ළග නිසා එහි නැවතුනු බව හේතුව ලෙස ඉදිරිපත් කළාය.මේ ඇති වූ ආරවුල අම්මාට කියා ඒ හිතටත් දුක් දෙන්නට හිරුණි කැමති වූයේ නැත. මෙය කීවා නම් ඒ ඔස්සේ අතීතයට යන අම්මා නොකඩවා සුසුම් හෙළමින් අඩන්නට වන්නේය. ඒ සෑම දෙයක්ම සිදු නොවිය යුතු දේවල් ය. තමාට මුහුණ දීමට සිදු වී ඇති තර්ජණ පිළිබද අම්මා දැන සිටි අතර ඒ ගැන සැම විටම ඇය පසු වූයේ බියෙනි. හිරුණි ඒවාටද නොයෙක් හේතු ඉදිරිපත් කරමින් ඇයගේ සිත සැනසුවාය. දැන් මේ රැකියාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක් කරන්නට හිරුණි සිතුවේ නැත. ජිවිතයේ තව දුරක් යා යුතු නම් ඒ අම්මා නිසාය. තමාට ලැබෙන්නට දෙයක් තිබුණා නම් ඒ සියල්ල පසුගිය කාලය තුල ලැබී නැවත නොලැබී ගොස් තිබුණි. ඉඳින් තවත් ඒ ජීවිතයට පැතුම් පුරවන්නට හිරුණිට හිත හදා ගන්නට බැරි විය.
ප්රධාන නගරයේ සිට බෝඩිමට ඒ තරම් දුරක් නොවූ නිසා හිරුණි අවේත් ගියෙත් පයින්මය.
එක් වරම කාර් එකක් තමා පසු කර ගොස් නවත්වද්දී ඇයගේ කල්පනා ලොව බිඳ වැටුණේය.
හිස ඔසවා ඒ දෙස බලද්දී ඒ පොඩි අය්යාගේ කාර් එක බව හිරුණි තේරුම් ගත්තාය. ඒ නිවසින් පිට වූ දා සිට මේ වන තෙක් හිරුණිට ඔහු හමු වූයේ නැත.
එදා මෙන්ම අදත් ඒ කතා කරන දෑස් හිරුණිගේ දෑස් මත රදවාගෙන සිටියා මිස ඔහු කතා කලේ නැත.
"පොඩි අය්යා ගෙදර යන ගමන්ද"
හිරුණි වචන ගැට ගැසුවාය.
" ඔව්.. මගේ සුබ පැතුම් නංගිට.."
නිමන්ත කිවූ දෙයක අඟක් මුලක් හිරුණිට තේරුණේ නැත. ඔහු මේ එන්නේ මොකාටදැයි හිතින් නිගමනය කරන්නට ඇයට බැරි විය.
"ඔයාලගේ ජීවිතයට මං සුබ පතනවා. හැමදාම හොඳින් ඉන්න.."
නිමන්ත නැවත කිව්වේය. හිරුණි ඔහු දෙස බලා සිටියේ කිසිවක් සිතා ගත නොහැකිවය.
"මොනවද ඔයා කියන්නෙ.."
ඇයට සිතුණේ පුවත්පත තමා ලිවූ දෙයකට සුබ පතනවා කියාය. නමුත් මීට පෙරත් තමා සාර්ථක ලිපි ලිවූ ඕනෑතරම් අවස්ථා තිබුණි. රටේ හතරවටින් සුබ පැතුම් ගලා ආවද එකලවත් පොඩි අය්යා මෙසේ විෂ් කලේ නැත.
"මං කියන දේ ඔයාට නොතේරෙන්න ව්ධියක් නෑ නංගි. මං ඔයාට කවදාවත් ශාප කරන්නෙ නෑ. මං මේ ලබපු ජීවිතේ වෙන්න ඇති. ඒ බෝයි ඔයාව පරිස්සමට බලා ගනීවි.."
හිරුණිට සියල්ල වැටහුණේ දැන් ය. පොඩි අය්යාගේ සුබ පැතුම එසේ නම් එයටය. නදීජ තමා සමඟ කතා කරමින් සිටිනු කිනම් මොහොතක හෝ ඔහු දකින්නට ඇත. එහෙත් පොඩි අය්යාට ඒ හොදටම වැරදී ඇත.
" ආ... ඒකටද ඔයා මේ සුබ පතන්නෙ ඒත් ඔයාට චුට්ටක් නෙමෙයි ගොඩක් වැරදිලා. ඒ පත්තරේ කැමර්මන් නදීජ. පොඩි අය්යා ඇස් දෙක යමක් දැක්ක පලියට හදවතට වැරදි පණිවිඩ දෙන්න එපා.."
හිරුණිට නිමන්ත ගැන ඇති වූයේ කළකිරීමකි. තමාගේ පිරිසිදු ආදරයට ඔහුට එසේ නිඟා කල හැකිද. නදීජගේ සිතේ එවැනි අදහසක් ඇති බව ඇත්තය. එනමුදු තමා නිමන්ත ගැන මිසක නදීජ ගැන කිසි දිනක නොසිතූ බව හිරුණිට විශ්වාසය.
නිමන්ත බිමට නැඹුරුව තිබූ හිරුණිගේ මුහුණ දෙස බැලුවේ නොරිස්සුම් සිතිනි. ඇය කියන දේවල් ඔහු ඇසුවේ එතරම් උවමනාවකින් නොවේ. ඇය සමඟ පිරිමි ළමයෙකු සුහඳ ලෙස කතා කරමින් ඉන්නා අයුරු දුටු වේලාවේ පටන් නිමන්ත සිතුවේ එපමණකි. ඔහුට හිරුණිව සාධාරණීකරණය කරන්නට අවශ්ය වූයේ නැත. අඬන්න සිටින මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමත සෑහේ.
"එහෙනම් නංගි මං යන්නම්. ඔයාට පරක්කු වෙනවනේ.."
නිමන්ත කිවුවේය. හිරුණි හිස ඔසවා ඔහු දෙස බැලුවේ ආයාසයෙනි. එසේ නම් මෙය අවසාන හමුවීමද.
"මං යන්නම්. පරිස්සමින් යන්න.."
නිමන්ත වාහනය පණ ගන්වන්නට සැරසුණේය. හිරුණිට දැනුනේ ඉවසාගත නොහැකි දුකකි. මේ මහ පාරේ හඬා වැටෙන්නට නොහැකිය. ආයාසයෙන් හැඬුම නවතා ගෙන නිමන්ත දෙස බලා සිටියේ ඇසි පිය නොහෙලාය.
"මමත එන්නද.."
"ඔයාව එක්කන් යන්න මට අයිතියක් නැනැනේ නංගි.."
ඔහු නැවතත් අදින්නේ එයමය. හිරුණිට එවදන් හමුවේ නම් ඉවසීමේ සීමාව ඉක්ම ගියේය.
"පිස්සු කතා කියන්න එපා පොඩි අය්යා.. මං ඔයාට ඕනි තැනකට අරන් යන්න. අරන් යන්න පොඩි අය්යා අපායට වුනත් කමක් නෑ.."
දෙවරක් නොසිතා හිරුණි වාහනයේ පසු පස අසුනෙහි ඉඳ ගත්තාය. නිමන්තත් කිසිවක් සිතුවේ නැත. හයිලෙවල් පාර දිගේ වාහනය ධාවනය කරගෙන ගියේය. ඔහුන්ගේ නිවසට තමා ආ පලමු දිනයේත් මේ පාර දිගේම ඔවුන් ගියේ මෙසේ නිඬවමය. නමුත් එදා මේ හදවත් අතර කෙතරම් දුරක් තිබුණිද. එහෙත් අද..
හැම දුක් කන්දරාවක්ම විඳිමින් මේ ගෙවන ජීවිතයට නොලැබෙන සෙනෙහසක් මුත් මොහොතකට හෝ හිත හදා ගත්තේ ඔහු ගැන සිතාය. දැන් ඒ ආදරයත් කරන්නේ රිදුනු සිත තවත් පෑරීමය.
බෝඩිම අසල වාහනය නැවැත් වූ මුත් නිමන්ත කතා කලේ නැත. හිරුණිට බෝඩිමට එන්නට ඔහුගේ වාහනය අවශ්ය නැත.
"ඇයි නැවැත්තුවේ.. යං පොඩි අය්යා.. ඔයා කැමති තැනකට යං "
"බහින්න නංගී.. මාව ඔයාගෙ ජීවිතෙන් අයින් කරලා දාන්න.."
එය නෑසුනු ගාණට සිටියා මිස හිරුණි පිළිතුරු දෙන්න ගියේ නැත. කෙල්ලක් ලෙස රැක ගන්නට පවිත්රත්වයක් ඇත. නොකිළිටි මලක් සේ තමා සතුව එය තවමත් ඇත. නොලැබෙන මුත් මේ සෙනෙහසට අඩුවක් අවශ්ය නැත. ඒ ආදර පූජාව හමුවේ ඒ උතුම් පවිත්රත්වයත් පූජා කල පසු තමාගේ සෙනෙහසේ අඩුවක් නැතැයි කියා හෝ සිත හදා ගත හැකිය.
නිමන්ත නැවතත් වාහනය පාරට ගත්තේ හිරුණි නිසොල්මන්ව සිටි නිසාය තමා දුරදිග නොබලා කී කතාවෙන් මේ කෙල්ල කරන්නට යන දෙයක් ගැන නිමන්තට සිතා ගන්නට නොහැකි විය.
බොහෝ සේ නිස්කලංක පෙදෙසක පාර අයිනට වන්නට වාහනය නැවැත් වූ නිමන්ත වාහනයෙන් බැස්සේය. වාහනයක් දෙකක් ගමන් කල මුත් එහි පයින් ගමන් කල කිසිවෙකු සිටියේ නැත. පැවතියේ දරාගත නොහැකි තරමේ නිහඬතාවයකි.
හිරුණි වාහනය තුළටම වී සිටියා මිස ඉන් බැස්සේ නැත. නිමන්ත වාහනයට හෙත්තු වී ඈත වෙල් යායට නෙත් යොමු කර ගෙන සිටියේය.
හිතකට අවිශ්වාසය නැමති සතුරා පහර දුන් පසු ඒ සිත හදා ගැනීම බොහෝ අපහසුය. අඟක් මුලක් නොදැන කරන කතා වලින් අනෙක් අයගේ සිත් වලට වේදනාවක් දැනෙනවාදැයි එකල සිතෙන්නේ නැත.
පොඩි අය්යා පරාජය පිළි නොගන්නා සැටියකි. මෙතෙක් කලක් මේ ආදරය හමුවෙ තමාට සිදු වූයේ පැරදෙන්නටය. ඉඳින් අදත් නොකල වරදකට ඔහු ළග සමාව යදින්න්ට සිදු වී ඇත. පන්හිඳෙන් අසාධාරණයට එරෙහිව විප්ලව කළ මුත් මේ ආදරය අභියස විප්ලව කරන්නට ඇයට හිත හදා ගන්නට නොහැකිය.
ඇය නොසිතූ ලෙස නිමන්ත වාහනයේ පිටුපස දොර හැර ඇය අසළින් ඉඳ ගත්තේය. නමුත් ඔහු හිරුණි දෙස බැලුවේ නැත. ඈතට යොමු වූ දෑස් වල වෙනසක් වූයේද නැත. පොඩි අය්යාට මේ තරමට නපුරු වන්නට හැකිද.
"මගෙන් වරදක් වුනා නම් සමාවෙන්න. මං වරදක් කලේ නෑ. ඒ වුනාට ඔයාට එහෙම හිතෙනවනම් මට සමාව දෙන්න.."
හිරුණි කිව්වේ නෙතින් ගලා ආ කදුළු ඔහේ ගලා යද්දීය. ලෝකය ඉදිරියේ තවත් නාඩා ඉන්නට හදවත සමඟ ගැසූ ගිවිසුම අවලංගු කලේ ඔහුය. නමුදු හිරුණිගේ වදන් හමුවේ නිමන්තගේ ඉරියව් වල වෙනසක් වූයේ නැත.
"කමක් නෑ.. මමත් එක්ක තරහ වෙන්න පොඩි අය්යා.. එක අතකට මං වගේ කෙල්ලෙක් එක්ක ඔයාට තියෙන කතාව මොකක්ද. මගේ දරු පැටියා ගැන එක වචනයක් කියලා යන්න මට ඒ ඇති."
එවදන් හමුවේ නම් නිමන්ත නොසැලී සිටිය නොහැකි විය. ඇයගේ මුහුණ දෙස ඔහු බැලුවේය. ඒ අහිංසක නෙත් වලට තමා දුන් කදුළු වැඩි යැයි ඔහුට සිතුණේය.
නිමන්ත සෙමෙන් ඇයගේ උකුළ මත හිස තබා ගත්තේය. මේ උණුසුමේ හැමදාම රැදෙන්න්ට හැකිනම්..
ඒ සතර නෙත් එකට හමු විය. හිරුණි සෙමෙන් පහත් වී නිමන්තගේ නළල සිම්ඹේය. සංසාරගත සෙහෙහසක් ඒ දෙසිතේ ලියලමින් තිබුණේය.
නිමන්ත දැඩි සේ ඇය තුරුළු කර ගත්තේය. 'මගේ පණ' ඔහු මිමිණුවේය.
පිරිමි පපුවක උණුසුමට නතූ වෙද්දී ඇය නිහඬ වූවාය. ඔහුගේ උණුසුම් සිඹ ගැනීම් හමුවේ හිරුණි ආදරය වින්දාය.
ඔවුන් අතර සීමා මායිම් සහිතව ඒ ආදරණීය මොහොත ගෙවී ගියේය. නිමන්ත ඇය රැක ගත්තේ මලක් සමවය. ඉඳින් ඒ මලේ සුවඳ රැගෙන යන්නට ඔහුට ඇවසි වූයේ නැත. කෙදිනමුත් ඒ සුවඳ තමාගේ කරගෙන විඳින්නට නිමන්ත සිතුවේ ආදරත් දැනුනු පළමු දිනයේමය.
" රත්තරං "
හිරුණි ඒ පපුවෙන් මුහුණ ඔසවා ඔහු දෙස බැලුවාය.
"මගේ පණ.. ඔහු නැවත ඇයගේ නළල සිම්ඹේ මහත් ආදරයෙනි.