දෙවන
පරිච්ඡේදය 2 | kum 7 වාර කියවා ඇත 0 අදහස්
-
අභිෂේක් කාවිංග ජයසූරිය
වෘත්තියෙන් ඔහු වෛද්යවරයෙක්.
ජීවිතේ හැමදේම ගොඩක් සැහැල්ලුවෙන් විඳින අභිෂේක් පුංචි දූ පැටියෙක්ගෙ තාත්තියෙක්. ආදරණීය බිරිඳකගෙ දයාබර සැමියෙක්.
විහිළුවක් කරලා අනිත් අයත් සතුටු කරලා ඔහුත් සතුටු වුනා.
ඩොක්ටර් අභිෂේක් රෝහලේ ගොඩක් ජනප්රිය චරිතයක් වුනේ මේ ජෝක් නිසාම තමයි
ඒත් ඔහුගේ මේ විහිළු ජීවිතයට යටින් ගොඩක් සංවේදී මිනිසෙක් ජීවත් වුනා. ඒ මිනිසා කිසිම කෙනෙකුට පෙනුණේ නෑ. දැනුණේ නෑ.ඒත් මිනායා ඒ සංවේදී හිත අඳුනගත්තෙ මීට ගොඩක් කාලෙකට කළින්. ඒත් ඇය ගොඩක් දුරින් ඉදන් ඒ සංවේදී ආදරණීය මිනිසා දෙස බලන් හිටියා මිසක් ළං වෙන්න හිතට පුංචිම ඉඩක්වත් දුන්නෙ නෑ.
මිනායා අද වැඩට එද්දි ටිකක් පරක්කු වුනා. සඳූ ඉස්කෝලෙට දාලා වාහන තදබදය අස්සෙ හිරවෙද්දි පරක්කු වෙලා.
"මීනු"
ළගින්ම ඇහුණු කටහඩට හැරිලා බලද්දි පෙනුණෙ ඒ ලෙංගතු ඇස් දෙක. හැමදාම මොනවදෝ ඉල්ලමින් තමාගේ ඇස්වල පැටළෙන මේ ඇස් නිසා ගොඩක් දවසට මිනායට මුළු දවසම පැටළුනා..
"ඩොක්ටර්.."
පුරුදු ආමන්ත්රණයෙන්ම කතා කලේ ඒ දුරස් බව තියාගන්න ඕනි නිසාමයි.
අභිෂේක් කිසිවක් කිව්වෙ නෑ. මිනායට පරක්කුයි. තව චුට්ටක් වෙලා ගියොත් ඉරට යටින් අත්සන් කරන්න වෙන බව මිනායා දන්නවා. වාහන පාර්ක් එකේ කවුරුත් හිටියෙ නෑ. වාහන ගොඩක් මැද ඔවුන් දෙන්නා විතරයි.
අභිෂේක් මිනායා ළගට ආවා.
"මීනු.. අපි කොහේ හරි යමු.."
හැමදාම වගේ ඔහු කිව්වා. මිනායා බිම බලා ගත්තා. දැන් ඔවුන් අඳුනගෙන වසර දෙකක් විතර. ඒ අවුරුදු දෙක ඇතුළෙ අභිෂේක් මේ කියන විසිවෙනි වතාව වෙන්න ඇති.
අභිෂේක් හෙමින් මිනායගෙ අත අල්ලගත්තා. මහා දුකක් හංගගෙන හිනාවෙන මේ අහිංසකී ගැන අභිෂේක් ගෙ හිතේ තිබුණෙ ලොකු ආදරයක්. ලෙංගතු කමක්. තමන් ඉන්න ඕනි සීමාව හැමදාම අභිෂේක් පැන්නා. බිරිඳ.,චූටි දුව, ඔහුට හැමදාම මේ අහිංසක ඇස් ඉස්සරහා මොහොතකට අමතක වුනා. ඒත් මිනායා තමාගේ සීමවෙන් ඈතට ගියේ නෑ. අභිෂේක්ට සීමාව කියලා දුන්නට වැඩක් වුනේ නෑ. දඟකාර පුංචි කොල්ලෙක් වගේ ඔහු දැවටුනේම ඇයගේ හිත වටේ.
අභිෂේක් මිනායගෙ ඇස් දිහා බැලුවා.
ඇය හිමින් හිස ඔසවා බලද්දි අභිෂේක්ගෙ ඇස් තිබුණෙ ඇයගෙ ඇස් වල පැටළිලා.
ඔහු තවත් තදින් ඒ අත අල්ල ගත්තා.
"කවුරු හරි දකීවි.. මැණික.."
ඒ ආදරේ පිරුණු වචන අභිෂේක් අහගෙන හිටියෙ හරි ආසාවෙන්. මිනායා තමාගේ හිතට විරුද්ධව කොච්චර සටන් කලත් අභිෂේක් ගෙ මේ ලෙංගතු කම ඉස්සර හැමදාම පැරදුනා.
වටපිට බලලා අභිෂේක් හෙමින් ඇයගේ නළල සිඹ ගත්තා. ගොඩක් දවසට වාහනේ දාන්න ආවම එතන රැකලා ඉඳලා ඔහු මේ දගකාර කම කරනවා. මිනායත් හිත රවට්ටලා ඒ පුංචි හාදුවට මහ ගොඩක් ආදරේ කලා.
ඔහුගේ අතින් අත මුදාගෙන ඒ ඇස් දිහා බැලුවෙ ආදරෙන් කියලා අභිෂේක් දන්නවා.
"යන්නම්.."
හෙමින් ඇය කියද්දි..
"හා.." ඔහු කිව්වෙ ඒ ඇස් අල්ලගෙනමයි
"ආදරෙයි.." ආයෙත් ඔහු කියද්දි ඇය හැරුණේ මුකුත් නොකියා.
ඈතට යනකල් ඔහු බලන් ඉන්න බව දන්නවා ඒත් මිනායා හැරුණෙ නෑ.
' අපි අපිට අයිති නෑ අභී..'
"අභී..."
අභිෂේක්ගෙ වයිෆ් නෙතුම්ලි අභිෂේක් ළගින් ඉඳගත්තෙ ඔහුගෙ මුහුණට කිස් එකක් දෙන ගමන්..
ඔවුන් ජීවත් වුනේ හරි ආදරෙන් නෙතුම්ලි ලස්සනයි. හැබැයි ටිකක් සැරයි.
අහිෂේක් නිවස තුළ නිහඩ චරිතයක්. චූටි දුව ළගට කරගෙන ඇයත් එක්ක ඉන්න එක තමයි ඔහු ගෙදරදි වැඩිපුරම කළේ.
"අභී.. මොනවද අනේ ඔය තරම් කල්පනා කරන්නෙ"
නෙතුම්ලි නැවත ඇහුවේ ඔහුගෙ කරට අතක් දාගන්න ගමන්
"මුකුත් නෑ නෙතූ.. අද ටිකක් මහන්සි.."
අභිෂේක් නෙතුම්ලි ළගට අරන් නළලට කිස් එකක් දුන්නා..
"චූටි මැණික නිදිද.."
අහිෂේක් ඇහුවෙ පැටියා පේන්න නැති නිසා
" ම්හු... චුට්ටකට නිදිය ගත්තා.. මං ඔයාට කොෆි එකක් හදන් එන්නම්.."
අහිෂේක්ට උදේ සිදුවීම මතක් වුණා. අනේ මංදා එයා ඒ තරමටම අහිංසක වුණේ ඇයි කියලා. තමා නළලට කිස් එක දෙද්දි බලන් හිටිය හැටි. පව් ඒ අහිංසක ඇස්වලට ආදරේ ලැබෙන්නෙ හරි අඩුවෙන්. තමන්ට නොකිව්වත් මිනායගෙ ජීවිතේ ගොඩක් දේවල් ඒ ඇස් දිහා බලලා අභිෂේක් තේරුම් ගත්තා. මං වැරදි වැඩක් තමයි කරන්නෙ ඒත් ඔයා එපා කියන දවස වෙනකල් මං ඔය ඇස් ළග ඉන්නවා මීනු...
මිනායා ගෙදර යද්දි සඳූ ඉස්සර පුටුවෙ වාඩි වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා..
මිනායා දකිද්දිම ඒ ඇස්වල කදුළු පිරුණා.
"ඇයි මගෙ රත්තරං ශීලා ආච්චි නැද්ද..'
මිනායා සඳූව තුරුළු කරගත්තෙ ගොඩක් වේදනාවෙන්
"ශීලා ආච්චි ගියා අම්මා.. "
මිනායාට හිතුනෙ ඇයි තමන් මේ තරමට ජීවිතේ අසරණ වෙන්නෙ කියලා
ශීලා කියන්නෙ මිනායා නැති වෙලාවට දුවගෙ තනියට තියන ඇන්ටි. ඇය ගොඩක් ආදරෙන් සඳූව බලාගන්න නිසා මිනායා සඳූව ඇය ළග තියලා වැඩට ගියේ හිතේ සැනසිල්ලෙන්. ඒත් අද ඒ සැනසිල්ලත් නැති වෙලා නේද කියලා මිනායාට හිතුණා. දුව අරගෙන ගේ ඇතුළට ගියේ ශීලා ඇන්ටිට කතා කරලා ඇයි මෙහෙම කළේ කියලා අහන්න හිතාගෙන.
"අම්මා..."
මිනායා හිටියෙ රාත්රියට කන්න ඔවුන් දෙන්නට නූඩ්ල්ස් ටිකක් හදන ගමන්
"ඇයි... සඳූ..."
සඳූ ළගට ඇවිත් මිනායා බදා ගත්තා..
"අම්මා ... මට හරිම පාළුයි.."
මිනායා පුංචි සඳූව පපුවට තුරුළු කර ගත්තා. ඇය කිසිම දවසක මෙහෙම කියලා නෑ. පුංචි වුනත් සඳූට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා. අම්මා කොච්චර මහන්සි වෙනවද කියලා ඇය දැනගෙන හිටියා. සමහර දවසට මිනායට ඉබේටම කකුල් රිදෙනවා කිය ලා කියවෙද්දි සඳූ පුංචි අත්වලින් ඇයගේ කකුල් පිරිමැද්දා.
තමන්ගේ දුක හිතෙන ජීවිතේ ළග හෙවනැල්ල වගේ හිටිය සඳූව මිනායගෙ ඇස් දෙක වුණා. ඇය පාළුයි කියන්නෙ මේ ජීවිතේද නැත්නම් ඔවුන් දෙන්නා විතරක් ඉන්න මේ ගෙදරද කියලා මිනායා පුංචි පැටියගෙන් අහන්න ගියේ නෑ.
දවසක් මිනායා හස්බන්ඩට ඔවුන්ගෙ මේ ජීවිතේ ගැන කියද්දි ඔහු කිව්වෙ ලංකාවට ඇවිත් පාරෙ හිඟා කන්නනද කියන්නෙ කියලා.ඊට පස්සෙ කිසිම දවසක ඇය ඔවුන්ගෙ තනිකම ගැන ඔහුට පැහැදිලි කරන්න ගියේ නෑ. තමන්ට මේ හැමදේම දරා ගන්න පුළුවන් වුනත් සඳූ අඩද්දි මිනායා කඩන් වැටුණා.
සුපුරුදු විදියට ඔවුන් නිදාගන්න යද්දි ඔහු කතා කලා. කෑවද බිව්වද හරිම මහන්සි එහෙනම් දෙන්නත් එක්ක නිදාගන්න ගුඩ් න්යිට්. ඒ සුපුරුදු වාක්ය ටික කියලා ඔහු ඇමතුම විසන්දි කලා. මිනායට සුසුමක් පිට වුණා.' ඇයි ඔයාට මං චුට්ටක්වත් දැනෙන්නෙ නැත්තෙ..'
චූටි සඳූට නින්ද ගිහිං . මිනායා දුරකතනය පසෙකින් තියලා ඇස් පියාගත්තා. ඇයටත් නොදැනීම ඇස් දෙකෙන් කදුළු බේරෙනවා.
ටිං සද්දෙට ඇය බලද්දි ...
"මීනු.." අභිෂේක් ගෙන්
ඇය උත්තයක් යැව්වෙ නෑ. මැසේජ් එක සීන් කලෙත් නෑ.
"මීනු... මැණික ඔයාලා කෑවද.."
ආයෙත්
මිනායා ඇස් පියා ගත්තා.
ඇයි අභී... මට ඉන්න දෙන්නෙ නැත්තෙ..
ආයෙත් ටිං සද්දෙ..
මිනායා දුරකතනය අතට ගත්තා.
ඔහුගෙන් මැසේජ් පහක්
අන්තිම එක.' පරිස්සමින් ඉන්න මැණික'
මිනායට නවත්වගන්න බැරි තරම් ඇඩුණා. ඇයි ඔහුට මේ වගේ තමන්ට ආදරේ කරන්න බැරි. මිනායට එක්වරම නැගිටුනා.
ඔහුත් අභිෂේක් වගේ මේ රෑ වෙන හිතක් හදනවා වෙන්න බැරිද.
එතකොට අභිශේක්ගෙ වයිෆ් ඇයත් මං වගේ නේද
මිනායගෙ ඔළුව කැරකෙන්න වගේ වුනා.
ඇය මැසෙන්ජන් බලද්දි තමන්ට මහන්සි කියපු ඔහු එහි ඔන්ලයින් හිටියා. කොල පාට එළිය.. නිවිලා තිබුණෙ නෑ..
මිනායා අභිෂේක් ට පිලිතුරු යැව්වෙ නෑ.
ජීවිතේ සැනසුම තිබුණෙ කොහේද ඇය මුළු රෑම හිතුවා.