තුන
පරිච්ඡේදය 3 | kum 6 වාර කියවා ඇත 0 අදහස්
හිරුණි උදෑසනින් නැඟිට තේ සෑදුවාය. අද වැඩට යන්නට විදියක් නැත. ගෙදර එකම කලබලයක් පවතිද්දී මඟ හැර යා නොහැක.
හිරූෂ තවමත් නින්දේය. ඊයේ රෑ දෙතුන් වතාවක්ම අප්පච්චී සොයමින් ඇඬුවේය. ආච්චි අම්මා ළඟ නිදා ගැනීම ප්‍රතික්ෂේප කරමින් හිරුණි ළග නිදා ගත්තේය. අම්මාගේ උණුසුම නැති වූදා පටන් සිටි අප්පච්චීත් අද නැත.
හිරුණි ගෙදර දොර අස් පස් කර දමා උදෑසනට කෑම පිළියෙළ කරන්නට වූවාය. කෑම රැගෙන රෝහලට තව ටිකකින් යා යුතුය. ඊයේ රෑටත් කෑමක් නැති මද්දු අය්යා තවමත් බඩගින්නේ වන්නට ඇත.
"අප්පච්චී...අනේ අප්ප්ච්චී...
හිරූෂ අවධි වී නැවත අප්පච්චී සොයයි.
"යං චූටියට මං කිරි එක දෙන්නම්.."
"අප්පච්ච්යා ඕනි."
හිරූෂ හඩන්නට පටන් ගත්තේය. දැන් ඉතිං නැළවීම පහසු නැත.
හිරුණි කොතෙක් දේවල් කිව්වත් ඒ හැඩීම නතර නොවීය.
සීලවතී හාමිනේද කාමරයට දුව ආවාය.
"මගේ රත්තරනේ.. අප්පච්චියා දැන් එයි. නාඩා ඉන්න."
හිරූෂ සීලවතී හාමිනේගේ ගෙල බදා ගත්තේය.
කවදාවත් තමා තනි නොකර ළගම සිටි අප්පච්චිත් අද තමා තනි කර ගොස් දැයි පොඩි පැටියා සිතනවා වන්නට ඇත.
සීලවතී හාමිනේ යාන්තමින් හිරූෂ නලවා ගත්තේ දවල්ට අප්පච්චී බලන්න රැගෙන යන පොරොන්දුව පිටය.
* * * * * * * * *
නිමන්තට දැන් නම් ටිකක සුවය. මනුෂ්‍යයකුට ජීවත් වීමට නම් මානසික සුවය මෙන්ම කායික සුවයද අත්‍යවශ්‍ය කාරණා බව බුදු හිමියන් පවා දේශනා කර ඇත. කයින් ප්‍රබලයකු මුත් සිතින් දුබලයකු නම් ඒ මිනිසා ලෙඩෙකි. එමෙන්ම කයින් දුබලයකු වී සිතින් ප්‍රබලයකු වුවද ඔහුද ලෙඩෙකි. මේ අංග දෙකෙන්ම සුවපත් වූවෝ සැබෑ නිරෝගී මිනිසුන් ය.
" මචං නිමා.. චුට්ටක් නැඟිටලා මේ ඇඳ විට්ටමට හේත්තු වෙයං..ඔහොම දිගටම ඉන්න එපා බං"
අව්ශ්ක නිමන්තගේ හොඳම මිතුරාය. මද්දු අය්යා ගෙදර යැවූ අවිශ්ක නිමන්ත ළග නැවතුනේ ඒ හිත මෙසේ තනි කල නොහැකි වූ නිසාය.
"අවිශ්ක.. අනේ මංදා මම නම් හරිම කාළකන්නි මිනිහෙක්. උඹලටත් මං නිසා හැමදාම කරදර"
"ඔය කාළකන්නි කතාව ආයෙමත් මට ඇහෙන්න කිව්වොත් මං මෙතන ඉන්නෙ
නෑ. ඩොක්ටර්ස්ලා කියනවා හිත හොඳින් තියන්න කියලා. උඹ ඉදන් පිස්සු කියවනවා.."
අවිශ්ක කිව්වේ තරහින් නොවේ.මිතුරාට සිදු වූ සෑම දෙයක්ම අවිශ්ක දනී. සිතකට දැරිය නොහැකි අන්දමේ දුක් වේදනා මේ 'නිමා' ඉහිලූ බව අවිශ්ක තේරුම් ගෙන නොසිටියා නොවේ. එහෙත් එක අවාසනාවන්ත සිදුවීමක් නිසාම ජීවිතය කාළකන්නි කර ගත යුතු නැත.
" නිමා.. හිරුණි නංගි එනවා. පව් උඹ නිසා හරියට මහන්සි වෙනවා. වැඩ ඇරුණු ගමන්මද මංදා.."
නිමන්ත හිස ඔසවා බැලුවෙ එවිටය.
වරදක් කියන්නට බැරිය.තමා අසනීප වූ දිනයෙ සිට වෙහෙස වන මේ කෙල්ල සසරේ යම් දිනෙක තමාගේ කවුරුන් හෝ වී හිඳින්නට ඇත. එහෙත් සිත ළගට එන්නට නම් දිය නොහැකිය. අහිංසකීගේ ජීවිතයට තමා නිසා කළු පැල්ලම් එක් කළ යුතු නැත.
"පොඩි අය්යා.. දැන් සනීපයි නේද.."
හිරුණි අසද්දී අවිශ්ක බැලුවේ නිමන්තගේ මුහුණ දෙසය. මෙතෙක් වූ කණස්සල්ල දැන් මුහුණේ නැත. කොහේ සිට හෝ කැරකී විත් ආදරයේ මුදු සුවඳක් මිතුරාගේ සිතේ ලැඟුම් ගනී නම් එය යහපතකි.අකාලයේ මිළින වන්නට මේ ජීවිතයට ඉඩ දිය යුතු නැත.
"දැන් ටිකක් සනීපයි නංගි. මගේ පැටියා හොඳින්ද.."
"පුතු නම් හොඳින් ඉන්නවා. ඒ උනාට හැම වෙලාවෙම ඔයාව හොයනවා.."
නිමන්තට සුසුමක් පිට විය. තමාගෙන් තොර ලෝකයක් ඒ අහිංසකයාට තිබුණේ නැත.
"ආයෙමත් කල්පනා කරනවා. පුතු ගැන අම්මලා බලාගන්නවනේ නිමා.. දැන් උඹ සනීප වෙන්න බලපං"
අවිශ්ක කීවුවේ කල්පනාවෙන් බර වූ නිමන්තගේ මුහුණ දෙස බලාය. හිරුණිත් කතාබහකින් තොරව බලා සිටියාය. දුක හිතෙන කතාගොඩක එකතුවක් හැම විටම පොඩි අය්යාගේ මුහුණේ ඇත.
"නංගි මොනවද ගෙනාවෙ මේ යකා මොනවත් කන්නෙ නැහෙනේ.."
"මට මැරෙන්න දීපං ප්ලීස් මං නිසා ඔයාලා කරදර වෙන්න එපා.."
මේ වන්නේ කුමක්ද හිරුණිට තේරුණේ නැත.අවිශ්ක අය්යා කිව්වේ හොඳට මිස වරදකට නොවේ. එයට මේ හැටිම කේන්ති ගන්නට කාරණාවක් නැත.
"මැරෙන්න ඕනි නම් මැරියං. අපිට පේන්න පිස්සු කරන්න එපා.අර අහිංසකයට තාත්තෙකුත් නැති කරලා තනි කරන්න නම් උඹට ඕනි උඹ මැරියං.."
අවිශ්ක පැවසුවේ සැබෑම කේන්තියෙනි.
නිමන්ත නිහඩව බිම බලා සිටිද්දී තමාගේ වචන සැර වැඩි වූදාදැයි අවිශ්ක සිතුවේය.
'නිමා.. මේ හැමදේම කිව්වෙ මට උඹ නැති කර ගන්න බැරි නිසා' අවිශ්ක කිව්වා නොව සිතුවා පමණි.
"පොඩි අය්යා... මං ආප්ප ගෙනාවා ඔයා ආසයි කියලා ඇන්ටි කිව්වා. මෙයින් එකක් කන්න.."
හිරුණි කිව්වේ බියෙනි. ආප්පයක් ගෙන තමගේ මුහුණට දමා ගසන්නට බැරි නැත. සැබෑම කේන්ති කාරයකු වූ පොඩි අය්යාට හිරුණි ඇත්තටම බිය වූවාය.
නිමන්තට ඒ වචන ඇසුනු වගක් නැත. ඈත බලාගෙන කල්පනා කරන්නේය. අවිශ්කත් ඈත ඉමකට නෙත් යොමු කරගෙන සිටියා මිස කිසිවක් නොකීවේය. 'කාපං මචං' යන වචනය අද දවසට අවිශ්ක සිය වරකට වඩා කියන්නට ඇත. ඒ එක වතාවක් වත් නිමන්ත 'හා' කිව්වේ නැත.
"ප්ලීස් පොඩි අය්යා මෙයින් එකක් කන්න. බඩගින්නෙ ඉන්න හොඳ නෑ. මං තේ එකක් හදන්නම්"
හිරුණි කිව්වේ අඬන්නට ලං වූ හඬකිනි.
ඇයගේ ලෝකයේ ඇයට සිටි එකම නෑයා අම්මා පමණි. මේ අය කෙඳිනක හෝ තමාගේ වී හිඳින්නට ඇත. ඉඳින් ඔවුන්ගේ දුකට හවුල් වීමේ වරදක් නැත.
හිරුණි කිවූ ආකාරයට නිමන්තගේ ළය උණු වී ගියේය. ලොවේ සෑම ගැහැණියක්ම අප්‍රිය කළ ඔහුට මේ වචන අහක දමන්නට බැරි විය.
ආප්ප ගෙඩියක් ගන සෙමෙන් කෑලි වලට කැඩුවා මිස කටට ගිය ප්‍රමාණය අඩුය.
හිරුණි උණු තේ එකක් නිමන්තට දී අවිශ්කටත් එකක් දුන්නාය.
අවිශ්කගේ මුහුණ තවමත් අමනාපයෙන් කළු වූ ගමන් ය. ලෙඩුන් පුංචි දරුවන් හා සමානය. කියන කරන දේවල් ගණන් ගත යුතු නොවේ. එහෙත් නිමන්ත මේ හැටිම ඔහුගේ සිත පාරවා ගන්නවා බලා සිටීමට අවිශ්ක කැමති නැත.
හිරුණි ගිය පසුත් නිමන්ත කතා නොකලේය. දෑස පියාගෙන සිටි මුත් ඒ නින්ද ගිය් නිසා නොවේ. අවිශ්කට මිතුරා ගැන දුකය. තමා යමක් කීවා නම් ඒ ඔහුගේම හොඳටය.
හොස්ස ලඟින් මැස්සා යන්න බැරි කුකුල් කේන්ති කාරයින් සමඟ කතා කිරීමේදී ප්‍රවේශම් විය යුතුය.
" නිමා... හිරුණි නංගි හරි හොඳ කෙල්ල නේද මං දැක්කා අර්ටිකල්ස් දෙක තුනක් කවද හරි තැනකට එයි."
අව්ශ්ක කිවූ මුත් නිමන්තගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත.
" ගෙවල් කොහේද බං.."
"මොන මල කරදරයක්ද මංදා.. මගේ ඔළුවත් රිදෙනවා ඔය කතාව නවත්වපං"
නිමන්ත කීවේ දෑස් පියාගෙනය.
"ආ... හරි හරි බලමුකෝ.."
අවිශ්ක කියද්දී නිමන්ත ඔහු දෙස බැලුවේ රවාගෙනය.
ඕනෑ නැති දේවල් ඕනෑම නැත. ගෙදර නැවතී සිටියාට තමාට උවැටම් කලාට මෙසේ කතා හැදීමට අවිශ්කට වටින්නේ නැත.
" මද්දු පූතේ... කෝ මේ දරුවා.."
සීලවතී හාමිනේ කතා කරන විට මද්දු සිටියේ ළිද ළගය. තමාගේ නම ලකුණු කරන්නේ කුමකටදැයි ඔහුට සිතා ගැනීමට හැකිය. අම්මා දැන් දවස් කීපයක සිටම කියන්නේ ලොකු අය්යාට නිමන්තගේ අසනීපය ගැන දන්වන ලෙසය.
ලොකූ නිකමටවත් සුව දුක් බලන්නට වත් අම්මාට කතා කරන්නේ නැත.
දැන් නිමන්ත සුවෙන් සිටිනා නමුත් සීලවතී හාමනේගේ සිතට හරි නැත.
මද්දුට නම් 'ලොකූ' කෙරෙහි පොඩි පැහැදීමක් වත් නැත.
අප්පච්චී හදිසි අනතුරකින් ඔවුන් මෙලොව තනි කර දමා යළිත් නොඑන්නටම ගියදා පටන් අම්මා දරුවන් තිදෙනා හදා වඩා ගන්නට නොවිඳි දුකක් වූයේ නැත. අප්පච්චී නැති වන විට මද්දුට යාන්තම් අවුරුදු පහ පිරෙන්නට ඇත. පොඩි මල්ලී අවුරුදු තුනක කිරි සප්පයෙකි. ලොකු අය්යා ඒ වන විට පහේ ශිෂ්යත්වයට සූදානම් වෙමින් සිටියේය.
මොන තරම් බාධක කම් කටොළු ආ මුත් දරුවන්ගේ ඉගනීම කඩා කප්පල් වීමට නොදුන් අම්මා ඒ සඳහා සියළු ශක්තිය යෙදෙව්වාය.
තමාටත් පොඩීටත් වඩා ඉගනීමේ දක්ෂයකු වූ ලොකු අය්යාට ඉගැන්වීමට අම්මා නොගත් උත්සාහයක් වූයේ නැත.
වරදක් සිදු වූයේ නැත. ලොකූ හොඳින් ඉගන ගත්තේය. ඔහු අද පිට රටක රැකියාව කරන්නේ ඒ දක්ෂතාවය නිසාම වන්නට ඇත.
නමුත් ටිකින් ටික ඉහළ අතු වලට නැගි අය්යාට තමා පුංචි සංධියේ පය ගැසූ දැන් දිරාපත් වෙමින් යන ඒ මව් ගස අමතක විය.
ලොකු අය්යා දැන් ඕස්ට්‍රේලියාවට ගොස් අවුරුදු පහකට ආසන්න වන්නට ඇත. ඒ අවුරුදු පහ තුලම එක වතාවක් ලංකාවට පැමිණියා මද්දුට මතකය. ඒත් අම්මා බලන්නට නොව ඔහුගේ රාජකාරි කටයුත්තක් සඳහාය.
ඒ සියල්ල අම්මා දන්නේය. දුරකතන ඇමතුමක් අන්තිමට දුන්නේ සිංහල අවුරුද්ද දාය. තමා කොතෙක් ඔහුට ඇමතුම් ගන්නට උත්සාහ කලත් හැම වේලාවෙම ඔහුගේ දුරකතනය කාර්‍ය බහුලය.
ලොකූ ගේ මේ වෙනස දරා ගන්නට නොහැකිව අම්මා සිතින් දුක් විඳින බව මද්දුට රහසක් නොවේ.
දැන් උදා වී ඇති තත්වය නම් අම්මාට උහුලා ගත හැකි වේයැයි මද්දුට සිතුණේ නැත. ඒ පුවත ඇසූ වේලේ තමාගේද හදවත මොහොතකට නැවතුනු බව මද්දුට මතකය
"මචං තරිඳු උඹ මොනවත් හිතන්නෙ නැත්නම් මං වැඩක් කියන්නම්.."
යහළුවාගේ කතාවෙන් මද්දු හොල්මන් ය.
"මොන... කියන දෙයක් කෙළින් කියපං උඹ දන්නවනේ මේ තරිඳුවා වටෙන් ගිහිං කණ අල්ලනවට කැමති නැති බව."
"උඹලයි ලොකු අය්යා.. ඕස්ට්‍රෙලියා ඉන්නෙ.."
"ඉතිං යකෝ උඹ ඕක නොදන්න දෙයක්ද"
"කෝ ඉතිං උඹනේ පනින්නෙ.. එයා ගිය සතියේ මැරි කරලා.."
"මයි ගොඩ්... මගේ අය්යා.."
"බැඳපු එක හරි කියමුකෝ.. උඹලට ලැබිලා තියෙන්නෙ සුදු නෑනා කෙනෙක්.."
එවෙලේ මද්දුට දැනුණේ මුළු ලොවම තමා තනි කර ගියා වැනි සිත් වේදනාවකි.
දෙනෙතින් කඳුලක් රූටා වැටුනේ එක ලේ වූ පාපයට වන්නට ඇත.
එකම අය්යා පියෙක් නැති අපට පියෙක් විය යුතුව තිබියදී මේ කර ඇත්තේ කුමක්ද?
"සීරියස් හිතන්න එපා මචං.. මං දැනගෙනත් නොකියා ඉන්න එක හොද නැති නිසා කිව්වෙ.."
යහළුවා පිටට තට්ටු කරද්දී මද්දු පියවිසි සිහියට පත විය.
'කමක් නෑ ඔයාට හොඳ නිසානෙ අපි තරහ නෑ ලොකූ.."
"මද්දු අනේ ඇත්තටම ඔයාගෙ කණ ඇහෙන්නෙ නැති හැටි"
කණ ලගින්ම ඇසුණු අම්මාගේ කට හඩින් තිගැස්සුනු මද්දු ඉබේටම නැඟිටුනේය.
"ළිං පඩිය උඩ වාඩි වෙලා කල්පනා කරනවා. මං රට දෙවනත් වෙන්න හොයනවා."
මද්දු බලා සිටියේ අම්මාගේ මුහුණ දෙසය. මේ කතාව ඇයට කියන්නට නම් බැරිය.
"අර මං ඔයාට කියපු වැඩේ කලාද.."
සීලවතී හාමිනේ ඇසුවේ තරවටු ස්වරූපයෙනි.
"මොන වැඩේද අම්මා.."
"ඒකවත් මතක නෑ. ලොකු අය්යට කෝල් කළාද"
"එයා කෝල් ගත්තට ආන්සර් කරන්නෙ නෑ. "
මද්දු කීවේ එපමණකි. සීලවතී හාමිනේගේ දෑස් කදුළින් බරවනු මද්දු දුටුවේය.
තමා කොතෙක් ඇමතුම් ගත්තද පුතා කතා නොකල බව ඇය මද්දුට කීවේ නැත.
මද්දු හිස් අහස දෙස බලා සුසුමක් පිට කලේය. සිදු වූ වැරදි හදන්නට කිසිවකුටත් බැරිය. ලොකූ දැන් අපෙන් බොහෝ දුර ගොස් ඇති බවක් වේදනා ව්ඳින අම්මාට මද්දු කීවේ නැත.