හතර

පරිච්ඡේදය 4 | kum 5 වාර කියවා ඇත 0 අදහස්


" මද්දු පූතේ... කෝ මේ දරුවා.."


සීලවතී හාමිනේ කතා කරන විට මද්දු සිටියේ ළිද ළගය. තමාගේ නම ලකුණු කරන්නේ කුමකටදැයි ඔහුට සිතා ගැනීමට හැකිය. අම්මා දැන් දවස් කීපයක සිටම කියන්නේ ලොකු අය්යාට නිමන්තගේ අසනීපය ගැන දන්වන ලෙසය. 


ලොකූ නිකමටවත් සුව දුක් බලන්නට වත් අම්මාට කතා කරන්නේ නැත. 


දැන් නිමන්ත සුවෙන් සිටිනා නමුත් සීලවතී හාමනේගේ සිතට හරි නැත.


මද්දුට නම් 'ලොකූ' කෙරෙහි පොඩි පැහැදීමක් වත් නැත. 

අප්පච්චී හදිසි අනතුරකින් ඔවුන් මෙලොව තනි කර දමා යළිත් නොඑන්නටම ගියදා පටන් අම්මා දරුවන් තිදෙනා හදා වඩා ගන්නට නොවිඳි දුකක් වූයේ නැත. අප්පච්චී නැති වන විට මද්දුට යාන්තම් අවුරුදු පහ පිරෙන්නට ඇත. පොඩි මල්ලී අවුරුදු තුනක කිරි සප්පයෙකි. ලොකු අය්යා ඒ වන විට පහේ ශිෂ්යත්වයට සූදානම් වෙමින් සිටියේය.


මොන තරම් බාධක කම් කටොළු ආ මුත් දරුවන්ගේ ඉගනීම කඩා කප්පල් වීමට නොදුන් අම්මා ඒ සඳහා සියළු ශක්තිය යෙදෙව්වාය.


තමාටත් පොඩීටත් වඩා ඉගනීමේ දක්ෂයකු වූ ලොකු අය්යාට ඉගැන්වීමට අම්මා නොගත් උත්සාහයක් වූයේ නැත. 

වරදක් සිදු වූයේ නැත. ලොකූ හොඳින් ඉගන ගත්තේය. ඔහු අද පිට රටක රැකියාව කරන්නේ ඒ දක්ෂතාවය නිසාම වන්නට ඇත.


නමුත් ටිකින් ටික ඉහළ අතු වලට නැගි අය්යාට තමා පුංචි සංධියේ පය ගැසූ දැන් දිරාපත් වෙමින් යන ඒ මව් ගස අමතක විය.

ලොකු අය්යා දැන් ඕස්ට්‍රේලියාවට ගොස් අවුරුදු පහකට ආසන්න වන්නට ඇත. ඒ අවුරුදු පහ තුලම එක වතාවක් ලංකාවට පැමිණියා මද්දුට මතකය. ඒත් අම්මා බලන්නට නොව ඔහුගේ රාජකාරි කටයුත්තක් සඳහාය.


ඒ සියල්ල අම්මා දන්නේය. දුරකතන ඇමතුමක් අන්තිමට දුන්නේ සිංහල අවුරුද්ද දාය. තමා කොතෙක් ඔහුට ඇමතුම් ගන්නට උත්සාහ කලත් හැම වේලාවෙම ඔහුගේ දුරකතනය කාර්‍ය බහුලය.

ලොකූ ගේ මේ වෙනස දරා ගන්නට නොහැකිව අම්මා සිතින් දුක් විඳින බව මද්දුට රහසක් නොවේ.


දැන් උදා වී ඇති තත්වය නම් අම්මාට උහුලා ගත හැකි වේයැයි මද්දුට සිතුණේ නැත. ඒ පුවත ඇසූ වේලේ තමාගේද හදවත මොහොතකට නැවතුනු බව මද්දුට මතකය


"මචං තරිඳු උඹ මොනවත් හිතන්නෙ නැත්නම් මං වැඩක් කියන්නම්.."


යහළුවාගේ කතාවෙන් මද්දු හොල්මන්‍ ය.

"මොන... කියන දෙයක් කෙළින් කියපං උඹ දන්නවනේ මේ තරිඳුවා වටෙන් ගිහිං කණ අල්ලනවට කැමති නැති බව."

"උඹලයි ලොකු අය්යා.. ඕස්ට්‍රෙලියා ඉන්නෙ.."

"ඉතිං යකෝ උඹ ඕක නොදන්න දෙයක්ද"


"කෝ ඉතිං උඹනේ පනින්නෙ.. එයා ගිය සතියේ මැරි කරලා.."


"මයි ගොඩ්... මගේ අය්යා.."


"බැඳපු එක හරි කියමුකෝ.. උඹලට ලැබිලා තියෙන්නෙ සුදු නෑනා කෙනෙක්.." 


එවෙලේ මද්දුට දැනුණේ මුළු ලොවම තමා තනි කර ගියා වැනි සිත් වේදනාවකි.

දෙනෙතින් කඳුලක් රූටා වැටුනේ එක ලේ වූ පාපයට වන්නට ඇත.

එකම අය්යා පියෙක් නැති අපට පියෙක් විය යුතුව තිබියදී මේ කර ඇත්තේ කුමක්ද?


"සීරියස් හිතන්න එපා මචං.. මං දැනගෙනත් නොකියා ඉන්න එක හොද නැති නිසා කිව්වෙ.." 

යහළුවා පිටට තට්ටු කරද්දී මද්දු පියවිසි සිහියට පත විය.

'කමක් නෑ ඔයාට හොඳ නිසානෙ අපි තරහ නෑ ලොකූ.."


"මද්දු අනේ ඇත්තටම ඔයාගෙ කණ ඇහෙන්නෙ නැති හැටි"


කණ ලගින්ම ඇසුණු අම්මාගේ කට හඩින් තිගැස්සුනු මද්දු ඉබේටම නැඟිටුනේය.


"ළිං පඩිය උඩ වාඩි වෙලා කල්පනා කරනවා. මං රට දෙවනත් වෙන්න හොයනවා."

මද්දු බලා සිටියේ අම්මාගේ මුහුණ දෙසය. මේ කතාව ඇයට කියන්නට නම් බැරිය.


"අර මං ඔයාට කියපු වැඩේ කලාද.." 

සීලවතී හාමිනේ ඇසුවේ තරවටු ස්වරූපයෙනි.

"මොන වැඩේද අම්මා.."


"ඒකවත් මතක නෑ. ලොකු අය්යට කෝල් කළාද"

"එයා කෝල් ගත්තට ආන්සර් කරන්නෙ නෑ. "

මද්දු කීවේ එපමණකි. සීලවතී හාමිනේගේ දෑස් කදුළින් බරවනු මද්දු දුටුවේය.

තමා කොතෙක් ඇමතුම් ගත්තද පුතා කතා නොකල බව ඇය මද්දුට කීවේ නැත.

මද්දු හිස් අහස දෙස බලා සුසුමක් පිට කලේය. සිදු වූ වැරදි හදන්නට කිසිවකුටත් බැරිය. ලොකූ දැන් අපෙන් බොහෝ දුර ගොස් ඇති බවක් වේදනා ව්ඳින අම්මාට මද්දු කීවේ නැත.



" මිලින වූ වසන්තය..


දුක හාදු දෙන රැයක..

අඬ ගැසුව වසන්තය..

අද මිළින වී ගියේ

ඇයිද නොදැනේ මට...

පිරිසිදුයි සිත මගේ...

නැත කිළිටි වී එය..

සා පැටවකුගේ අහිංසක නෙතු..

නුඹෙන් පැතූ මා මිසක..

නැත වරදක් නුඹ වෙත..

නොහඩමී කෙදිනවත්..

නුඹ ගැන සිතා තව වරක්..

මිලින වූ මගේ ලොව

පාළුව අගෙයි මට...


නිමන්ත ප්‍රියදර්ශන

නවම් කලාපය

නුගේගොඩ "


අව්ශ්ක මේ පැදි පෙළ කියවූයේ එක හුස්මටය. මිතුරා මෙතරම් අගනා කවිකාරයෙකුබ් යැයි අවිශ්ක දැන සිටියේ නැත.

'රිවිකර කවිමිණෙහි' පලවී තිබූ මේ පැදි පෙළ දුටු අවිශ්ක පුදුම වූයේ ඒ නිසාය. කිසිම දෙයක් විවෘතව කියන්නේ නැත.හැම දෙයක්ම තිබෙන්නේ සිතේය. මිතුරා ඉස්සර මෙසේ නැත. අසාර්ථක යුග දිවියක හිමිකරුවන් වන හැම දෙනාම මෙසේ දැයි අවිශ්කට සිතුණේය.


පත්තරයත් අතේ තබාගෙන යකඩ වැටට හේත්තු වී අවිශ්ක මඟ බැලුවේ නිමන්ත එන තෙක් ය. 


මුහුණ බිමට නැඹුරු කරගෙන පඩිපෙල නගිනා නිමන්ත දෙස අවිශ්ක බලා සිටියේය. දැන් ඉස්සර තරමටම මුහුණ අඳුරු නැත.


" ගුඩ් මෝනිං නිමා..."

අවිශ්ක පත්තරය නිමන්ත වෙත දිගු කලේය.

අවිශ්ක අත රිවිකර පත්තරය ඇති බව නිමන්ත ඈත එද්දීම දුටුවේය. ඒකත් එකටම හිරුණිගේ ආර්ටිකල් එකක් වන්නට ඇත.


"ගුඩ් මෝනිං මොකක්ද උඹේ පේවරිට් රයිටගේ වැඩක් වෙන්න ඇති.."


"අහා... මගේ විතරද."


අවිශ්ක ඉඟි මැරුවේ පත්තරය පිටු පසට කරගෙනය.

හිරුණිගේ නම කියා නිමන්තට විහිළු කිරීම අවිශ්කගේ විනෝදාංශයකි. ඒ සෑම විටම නිමන්ත නෑසුනු ගානට සිටී.

'පමා වී පායා එන පුන්සඳ වුව පලක් නැත.'


"මගෙන් සුබ පැතුම් නිමා..මේ බලපං මචං "

නිමන්ත අන්දමන්ද විය. 

"උඹට පිස්සුද බං..."

"මේ බලපං මතකය කියන එක චුට්ටක් තියා ගනිං පරිස්සමට.."


අවිශ්ක අඟිල්ල තබා පෙන් වූ පැදිපෙල දකිද්දී නම් නිමන්තට ඉවසුම් නැති විය. නිකමට කවි කුරුටු ගෑම සිරිතය. තමාගේ කවියක් සොරකම් කරගෙන මෙසේ පල කිරීමට ඇති අයිතිය කුමක්ද. පල වූයේ තමගේ නමින් බව සැබෑය. එනමුත් මෙයට නම් කිසිම කැමැත්තක් නැත. සිතේ තිබෙනා දුක ලොවට කියන්නට නිමන්තට ඇවැසි වූයේ නැත.


"මොකද බං මේ.. ඇයි මේක උඹේ නෙමෙයිද.."


"නෑ මගේ නෙමෙයි.. එහාට වෙයං මට යන්න.."


අවිශ්කගේ අත හිසට ගියේ ඉබේටමය. මේ මිනිහා තේරුම් ගැනීමට සක් දෙවිඳුගේ සීයාට වත් නොහැකි වනු ඇත.

" ඒ නිමා නවම් කලාපෙ නිමන්ත ප්‍රියදර්ශනලා තවත් ඉන්නවද තමන්ගෙ දක්ෂතාවයක් දැකලා සතුටු වෙන්නවත් උඹට බැරිද බං "


අවිශ්ක ඇසුවේ නිමන්තගේ අත දැඩිව අල්ලාගෙනය. 


"අතෑරපං මගේ අත..ප්ලීස් මට යන්න දීපං බං "


"අය්යෝ මං හිතාගෙන හිටිය දේවල්. එතකොට මේක පත්තරේට දැම්මෙත් උඹ නෙමෙයිද.."


මේ තරමටම කේන්ති එන්නට හේතුවක් නැත. තමාගේ නිර්මාණයක් පුවත් පතක පළ වන තෙක් ඕනෑම කෙනෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ අවස්තාව ලැබී ඇති අද මිතුරා පසුවන්නේ දැඩි කෝපයෙනුත් කැළකිරීමෙනුත් ය. ඉඳින් මේවා තේරුම් ගැනීම පහසු නැත. 


නිමන්තට හිරුණි ගැන ඇති වූයේ දැඩි කෝපයකි. හවසට ගොස් හොඳ දෙකක් කියා දැනට ඇති හොඳ හිතත් ඉවත් කර ගත යුතුය. තමාගෙන් නො අසා මේවා කිරීම හොද නැත. ප්‍රශ්න මතුවන්නේ ඇයට නොව තමාටය.




2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!