පහ

පරිච්ඡේදය 5 | kum 3 වාර කියවා ඇත 0 අදහස්


මද්දු ගෙදර පැමිණෙන විට වෙනදාට වඩා හවස් වී තිබුණි.කොහොමටත් ඔහු එන විට හයට ආසන්න වේ. 


පෞද්ගලික ආයතනයක ඇසිස්ටන් මැනේජර් කෙනෙකු ලෙස සේවය කළ මද්දුට කොහොමත් විවේකයක් තිබුණේ නැත.


මද්දු එද්දී වෙනදා නම් හිරුෂත් හිරුණිත් මිදුළේ කුමන හෝ සෙල්ලමක නිරත වී සිටිති. කොතෙක් මහන්සි තිබුණත් හිරුණි හිරූෂ පුතු කියනා ඕනෑම දෙයකට එකඟ වූවාය. පොඩි පැටියාගේ ලොවේ සතුට රැදී තිබුණේ වැඩිහිටියන් අතේය.


මද්දු ගේ තුළට ඇතුලු වෙද්දීම දුටුවේ හිරූෂට පුටුවක් උඩම නින්ද ගොස් ඇති අයුරුය. පොඩි දරුවා මෙතන දමා අනෙක් අය කොහේ ගිහිංද දන්නේ නැත.


" අම්මා... මේ පුතුට පුටුව උඩ නින්ද ගිහිං.. දැන් බිමට වැටෙනවා..."


මද්දු කෑ ගැසුවේ දරුවා ළග සිටගෙනය. ඒ හඩට පුතු අවධි විය.


"හරි පුතූ අඬන්න එපා කෝ ආච්චි අම්මා.."


ඇඟ පුරාම දහඳියය. එහෙත් පුතු බිම තැබිය නොහැකිය. 

සීලවතී හාමිනේ දුවගෙන ආවෙ එවිටය.


"කෝ එන්න පුතූ.. මං කුස්සියට ගියා ඒ අතරෙ නින්ද ගිහිං "


ඇග සෝදා ගෙන තේ එකක් බිවූ මද්දු සැරසුනේ මිතුරෙක් හමුවීමට යාමටය.


" මද්දු පුතා.. කොහේද යන්න හදන්නෙ"


"ඇයි අම්මා.." 


"පොඩී අර දුවට අද හොඳටම බැන්නනේ.."

සීලවතී හාමිනේ කීවාය. 

පොඩීට හිරුණි නංගීට බනින්නට ඇති උවමනාව කුමක්ද?

"බැන්නා.. නිකන්ම.."

"මේ මොකක්ද මංදා එයාගෙ කවියක් පත්තරේ දැම්මලු.."

මද්දුට සිදුව ඇති දෙය තේරුණේ දැන් ය. තමාත් ඒ කවි පෙල කියෙව්වා මතකය. ඒත් එය දකිද්දී මද්දුට පුදුම හිතුනේ පොඩීගේ හැටි දන්නා නිසාය.

කවදාවත් එවැනි දෙයක් කරනවා තබා සිතනා කෙනෙකු නොවේ.


"ඉතිං ඊට පස්සෙ.."

"හොදටම බැන්නා. මං එපා කිව්වම මටත් බැන්නා. පව් අහිංසක කෙල්ල මං හිතන්නෙ හෙටම මෙහෙන් යාවි.."


සිදුව ඇති දෙය සරල නැත . අනුන්ගෙන් බැනුම් අසමින් මෙතන රැඳිය යුතු නැත. නුගේගොඩ ඕනෑ තරම් බෝඩිම් ඇත.


" හිරුණි නංගි මුකුත් කිව්වෙ නැද්ද අම්මා.."


"කට ඇරියෙ නෑ. අන්තිමට කිව්වා මට සමාවෙන්න කියලා. එච්චරයි.


හැමවිටම නඩු කාරයා වීමට සිදුව ඇත්තේ තමාටය. දැන් මේ ගෙදර දෙතුන් දිනක්ම ආරවුල් විසදුවේ තමාය. දෙපැත්තටම නැති සර්ව සාධාරණ තීන්දුවක් දිය යුතුය. එහෙත් පොඩි මල්ලීට මෙය ඒ හැටිම කේන්ති යන්නට කාරණාවක් නොවේ. තවද හිරුණි නංගී කර ඇත්තේද වරදකි.


"කෝ ඉතිං දැන් එයාලා..."

"පොඩී නම් කොහේට ගියාද මංදා.. අර දරුවා නම් අඩ අඩා හිටියා. අනේ මංදා පොඩී දුර දිග නොබලා කරන වැඩ.."


සීලවතී හාමිනේ හිරූෂත් රැගෙන කුස්සියට ගියාය.


මද්දු හිරුණිගේ කාමරයට හිස පොවා බැලුවේ දැන් කුමක් කල යුතු දැයි සිතමිනි.


"නංගී පොඩ්ඩක් එළියට එනවද.."


මද්දුගේ හඩින් තිගැස්සුනු හිරුණි වහා හැරී බැලුවාය. සිතුවා වැරදිය. දොරකඩ සිටින්නේ මද්දු අය්යාය.


"අනේ අය්යා.. මට සමාවෙන්න.."


හිරුණිට කියවුනේ ඉබේටමය. කර ඇති වරදේ බරපතල කම තේරෙන්නේ දැන්ය.


" මොන.. මගෙන් සමාව ඉල්ලන්නෙ. ඔයා මට වරදක් කලාද.."


මද්දු අය්යාගේ කරුණාවන්ත හඩට හිරුණිට දැනුනේ සැනසීමකි. 

යක්ෂයකු ආරූඪ වූවා මෙන් පොඩි අය්යා තමාට බැන වැදුනු අයුරු සිහි වී හිරුණිට දැන්ද දැනෙන්නේ දැඩි බියකි.

මින් මත්තට ඔහු දෙස බලනවා තබා ඉන්නා තැනකින් යාමටද දෙසරයක් සිතා බැලිය යුතුය.


"මං මේ වගේ දෙයක් කවදාවත් හිතුවෙ නෑ අය්යා.. මං පොඩි අය්යගෙන් අහන්නෙ නැතිව කවි පෙළ පත්තරේට දැම්මෙ. මං වැරදියි මද්දු අය්යා.."


හිරුණිට ඇඬුම් එන්නේය. ඒ දුකටද අසරණ කමටදැයි නොදැනේ.."


"නංගි කොතන තිබිලද ඕක අහුල ගත්තෙ.."

මද්දුට සිනා පහල විය. පුදුම ගැටළුය. ඉඳින් මේවා විසඳන්නට ටිකක් මොළේ පාවිච්චි කල යුතුය.


"හිරූෂ බබාගෙ හෝඩි පොත ඇතුළෙ තිබිලා.."


හිරුණි කිව්වේ බිම බලාගෙනය. මද්දු අය්යාගේ මුහුණේ ඇත්තේ සිනාවකි. සැබවින්ම මෙය සරල සිද්ධියකි. නමුත් එවෙලේ පොඩි අය්යාගේ මුහුණ මද්දු අය්යා දුටුවානම් මෙසේ සිනා සෙන්නේ නැත.


"හරි දැන් වුනු දේ වුනා. දැන් ඒක හදන්න බෑ. මං අපේ එකා වෙනුවෙන් ඔයාගෙන් සමාව ඉල්ලනවා නංගි.."


"අය්යට පිස්සුද.. වරදක් කලා නම් කලේ මං පොඩි අය්යා නෙමෙයි."


"මං කිව්වනේ නංගි ඕක මහ ලොකු වැරැද්දක් නෙමෙයි කියලා.. ඒත් පොඩ් මල්ලි.. මිනිහා ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ. ඒ වගේ තත්වයකදි තමන් කරන දේවල් වල හරි වැරදි තේරෙන්නෙ ගොඩක් අඩුවෙන්"


හිරුණි කිසිවක් නොකීවාය. මේවා නොතේරෙනවා නොවේ. කවුරුවත් මෙතෙක් කිසිවක් මේ ගැන නොකීව මුත් පොඩි අය්යාගේ මුහුණේ දිස්වන ජීවිතය පැරදී ගිය ලකුණු හිරුණි හදුනා ගත්තේ මෙහි පැමිණි මුල් දිනවලමය.


"පොඩී ඉස්සර ඔහොම නෑ නංගි. මේ ගේ දෙක වෙන්න පිස්සු නටනවා. පොඩියි මමයි ටුවින්ස්ලා නොවුනට අපි දෙන්නා හැම දෙයක්ම කළේ එකට. ඒකෙ නම් අදත් වෙනසක් නෑ. "


මද්දු කිව්වේ දිගු සුසුමක් පිටකරය. හිතේ ගල් ගැසී තිබූ මහා දුකක් ඒ සුසුමේ පා කර හැරියා වැනිය.


" නංගිට කරදරයක්ද මංදා මේ කතාව. මේ කියන්නෙ අද සිද්ධ වුනු දේට මගේ මල්ලිට සමාව දෙන්න කියලා.."


මද්දු අය්යාගේ ඇස් වල කදුළුය. මේ නම් උත්තරීතර සහෝදර ප්‍රේමයකි.


"මට කරදරයක් නෑ අය්යා. කියන්න ඒත් මගෙන් සමාව ඉල්ලන්න එපා. මට පව් පිරේවි. මං දන්නවා වරද කලේ මං කියලා.."


"මේ ඉන්න පැටියා පොඩීගෙ වගේම අපෙත් පණ තමයි. ඒත් පොඩීගෙ ජීවිතය අපායක් කරපු ඒ පැටියගෙ අම්මා ගැන නම් මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ. ඉස්කෝලෙන් අවුට් වෙලා දෙවනි සැරේ ඇඩ්වාන්ස් ලෙවල් කරද්දි තමයි පොඩි මල්ලිට 'සකුණි' හමු වුනේ.."


මද්දු අය්යා කතාව නවතා ඉවත බලා සිටියේය. හිරුණි නිහඩවම සිටියාය. ජීවිත කතාවක පාපෝච්චාරණය අතිශයින්ම දුක් බරය.


"මූ ඒක මට කිව්වා.. මං හිතන්නෙ ඒ ෆස්ට් ලව් එක.."

"ඉස්සර පිස්සු කලාට ඒ වගේ කේස් වලට පැටළුනේ නෑ. මං හිතන්නෙ මල්ලි ඒ කෙල්ලට පණ දුන්නෙ නැති එක විතරයි. ඒත් නංගි අපිට හැම වෙලාවෙම ගැලපෙන අයම හමු වෙන්නෙ නෑ.."


"මගේ මල්ලිටත් වුනේ ඒ ටික. ඒ කෙල්ල ලොකු සල්ලි කන්දක් කියලා මල්ලි දැන ගත්තෙ පස්සෙ. මට ඒ ගැන කිව්වා ඒත් මං එදා කිව්වා කරන දෙයක් පරිස්සමින් කියලා. ඒත් ඒ වෙද්දි පොඩීට ඒ කෙල්ලගෙන් තොර ලෝකයක් තිබුණෙ නෑ නංගි. එක දවසක් අම්මට වැඳලා ඇහුවා මං මැරි කරන්නද අම්මා කියලා. 

එදා එයාගෙ ජීවිතේ හරි ලස්සන තීරණයක් එයා ගත්තෙ කියලා අපි සතුටු වුනා නංගි..."

"ඇත්තටම මද්දු අය්යගෙ කෙල්ල කොහේද ඉන්නෙ.."


දුකට විරාමයක් තබා හිරුණි ඇසුවාය.


"ම්... එහෙම කෙනෙක් ඉන්නවා නම් තමයි. සුදුසු කාලෙදි ඒවා කෙරේව්. ජීව්තේ අනාගන්න මං කැමති නෑ නංගි. මගේ තව ටාගට්ස් කීපයක් තියනවා. ඊට පස්සෙ බලනවා."


හදවතින්ම විවෘත මිනිසකු වූ මද්දු සියල්ල පැවසුවේ නොසඟවාය. හිරුණිට මද්දු කෙරෙහි වූ පැහැදීම තවත් වැඩි විය. ජීවිතයේ සෑම දෙයක්ම සැහැල්ලුවෙන් සිනාවෙන් බාරගන්නා ඔහු ඇත්තටම මේ ජීවිතය විඳින්නෙකි.


ඉන් පසු මද්දු සිනා සී බලා සිටියේ හිරුණි දෙසය. තමා ඇසුවේ අනවශ්‍ය ප්‍රශ්නයක් බව තේරෙන්නේ දැන්‍ ය. පෙරලා තමන්ගෙන්ද මද්දු අය්යා එම ප්‍රශ්නයම අසන්නට බැරි නැත.


" හරි ඉතිං හිරුණි නංගිට නැද්ද එහෙම කෙනෙක්.."


සිතුවා හරිය. මද්දු අය්යාගේ මුහුණේ ඇත්තේ දඟකාර සිහහවකි.


" නෑ "

හිරුණි පැවසුවාය.


"තනි අකුරේ උත්තරේ නේද? බය වෙන්න එපා. ආදරේ කරනවා කියන්නෙ වැරැද්දක් නෙමෙයි. එක හිතකින් ආදරේ කරන්න ඕනි. නොගැලපෙන තැන් ගළපගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ආදරේ හරි ලස්සනයි නංගි.."


මද්දු අය්යා කියද්දී හිරුණිටත් 'ආදරය' ගැන ඇති වූයේ ලෝබකමකි.

නමුත් තමාගේ හදවතේ ආදරයට හිමි පිං බිම තවම හිස්ය. 


"මද්දු අය්යේ.. අර කතාවෙ ඉතිරි ටික කැමති නම් කියනවද.."


"ම්.. මොනව වුනත් අපෙ අම්මා පොඩීට පණ වගේනෙ. ඒ ආදරේ නිසාද මං දා පොඩී අහපු දේට අවසර දුන්නා..මැරි කරලා මේ ගෙදර තමයි හිටියෙ. ඒත් ඒ කෙල්ල අපි හිතුවා වගේ කෙනෙක් නෙමෙයි. සල්ලි වැඩි කම නිසාද මංදා අපේ අම්මා එයාට පෙනුනෙ වැඩකාරියෙක් වගේ..ඒත් පොඩී නිසා මං හැමදේම ඉවසුවා.ඒත් ටික දවසක් යද්දී මේ දේවල් එන්න එන්නම වැඩි වුනා.අම්මට බනින එකේ සීමාවක් නැති වුනා. ඒවානම් මට අහගෙන ඉන්න බැරි වුනා. ඒත් නංගි මං ඒවා ඒකිට කිව්වෙ නෑ.කිව්වෙ පොඩි මල්ලිට. ඌත් ඒ වෙද්දි හිටියෙ අන්තෙටම අසරණ වෙලා.

ඉස්සර තිබුණු ආදරේ පස්සෙ දොරෙන් හොරෙන්ම යන්න ගිහිං තිබුණා.මෙතන හැමදාම රණ්ඩු.එයා උදේ ගියාම ආයෙ එන්නෙ හවසට.කොහේ යනවද කියලා ආයෙ කවුරුත් දන්නෙ නෑ.හස්බන්ඩ් විදියට පොඩීවත් දන්නෙ නෑ. පැටියා ලැබෙන්න ඉඳිද්දිත් ගෙදර හිටියෙ හරිම අමාරුවෙන්. අමුතු යාළුවෙ තමයි හිටියෙ. මේ හැමදේකම ප්‍රතිපලේ උනේ එක දවසක් රෑ මේ ලේ කිරි කැටියයි පොඩි මල්ලියි දාලා ඒකි යන්න ගිහිං තිබුණා.කොහේ ගියාද මොනවත් අදටත් දන්නෙ නෑ. පොඩීටත් එපාම වෙලා හිටියෙ. තමන්ගෙ දරු පැටියා දාලා ගියපු ගෑනියෙක් ආයෙ මොනවටද නංගි.."


මද්දු අය්යා පිට කල සුසුමේ වූයේ වේදනාවද කළකිරීමද කෝපයදැයි හිරුණිට වැටහුණේ නැත.


"ඔන්න ඕකයි නංගි මං කිව්වෙ පොඩි මල්ලි අමුතු මිනිහෙක් වුනේ ඇයි කියලා. හැම වෙලාවෙම මූණ එල්ලගෙන. ගිය ආත්මෙ කරපු මහා අකුසල කර්මයක් මූට පල දෙන්න ඇති. ඔය දරු පැටියා නැත්නම් කොල්ලට දැනටම පිස්සු හැදිලා.."


අප අපමණ දයාබර යැයි අදහන ආදරයේ එක් පැති කඩකි ඒ. 


"තමන්ගෙම කෙනෙක් කියලා හිතලා මට මේ දේවල් කිව්වට අය්යට ස්තූතියි . මටත් කවුරුත් නෑ. දුකටයි සැපටයි හැම දේටම ඉන්නෙ අම්මා විතරයි.මට මෙහේ ආවට පස්සෙ හිතුනා ඔයාලා මගේම අය කියලා. ඒකයි පොඩි අය්යා බනිද්දි ගොඩක් දුක හිතුනෙ."


හිරුණිගේ දෑසින් නොකඩවා කදුළු ගලා හැලෙන්නේය. ඒ දෙස බලා වුන් මද්දුට දැනුනේ තද සිත් වේදනාවකි. අසරණ කෙල්ලගේ ජීවිතයේද අප නොදන්නා බොහෝ දේවල් තිබෙනවා වන්නට ඇත.


" මං දන්නෙ නෑ මේ අහන දේ හරිද කියලා නංගිගෙ තාත්තා නැති වෙලාද.."


හිරුණිට තවත් හයියෙන් ඇඬුම් එන්නේය.

නැති වන්නට හෝ තාත්තෙක් ඇයගේ ලොවේ සිටියේ නැත.එසේ වූයේ නම් සෑම පෝයකටම දනක් පිනක් කර ප්‍රාර්ථනා කරන්නේ පියාණන් ලබන ආත්මයේත් තමාගේ පියා වන්නට කියාය. මේ කුහක ලොව හිරුණිට දී තිබුණේ 'පියාගේ නම නොදනී' ලෙස වූ උප්පැන්න සහතිකයකි. කසාද සහතිකය අසරණ අම්මාගේ ලොවේ තිඹිරි ගෙය තුළම මිය ගිය හීනයක් වී තිබුණි.


මද්දුට සිතුනේ තමා ඇසුවේ අනවශ්‍ය ප්‍රශ්නයක් බවය. හැම දෙනාටම එක වගේ නැත. ඇයගේ ලොවේ පියෙකු නොසිටිනවා වන්නට ඇත.


"මට සමාවෙන්න නංගි. මේ මද්දු අය්යා එක වෙලාවකට හරි මෝඩයි.."


"නෑ අය්යා මං අය්යලාට මොනව හංගන්නද. ඔයාලට වගේ නැති වෙන්නවත් තාත්තෙක් මට ඉඳලා නෑ. මගේ අසරණ අම්මා රවට්ටපු ඒ දුෂ්ට මිහිහට මං කවදාවත් තාත්තා කියලා කියන්නෙ නෑ. අදටත් මං එයා කවුද කියලා දන්නෙ නෑ. මං..මං අවජාතක කෙල්ලෙක් අය්යා.."


හිරුණිගේ දෑසේ වූයේ පහදා කිව නොහැකි හැඟීමකි. මද්දු ගැස්සුනේ ඒ දෙස බලද්දීය. මද්දුට සිතුණේම ඇය සිහිසුන් වන්නට යනවා කියාය.


" නංගි ඔහොම ඉන්න.. පොඩ්ඩක් ඉන්න මං අම්මට කතා කරන්නම් "


මද්දුට හීන් දාඩිය දැම්මේය. තමාගේ ගොන් ප්‍රශ්නයෙන් සිදුවන්නට යන්නේ මහා විනාශයකි.


"නෑ අය්යා මට අමාරුවක් නෑ..


මුහුණ සුදු මැලි වී ගොස් තිබුණි. මද්දු යලිත් ඇය දෙස හොඳින් බැලුවේය.


"ඇති නංගී... ඔයා කාමරේට යන්න. අපි හැමෝටම එහෙමයි ඒත් අපි ඒවා දරාගෙන ජීවත් වෙන්න ඕනි.."


"මද්දු අය්යා.. මගේ කතාව අහන්න. මට මේවා කියන්න කවුරුත් නෑ.."


හිරුණිගේ දුක්බර මුහුණේ ආයාචනය අහක දමන්නට මද්දුට බැරිය. නමුත් මේ හැම දෙයකින්ම රිදෙන්නේ ඇයගේ සිතය. 

" මට තේරෙනවා නංගි හැම දෙයක්ම. අපි මේ කතාව නතර කරමු. ඔයා තවත් අඩනවා බලන් ඉන්න මට බෑ..!


"නෑ අය්යා මං තවත් අඩන්නෙ නෑ. අවජතක කෙල්ලෙක් වෙලා මං මේ ලෝකෙට එද්දි අම්මා මොන තරම් දුක් විඳින්න ඇතිද කියලා මං දන්නවා. එදාම මගේ බෙල්ල මිරිකලා දමන්නෙ නැතිව අද වෙනකල් අම්මා මං ආදරෙන් බලා ගත්තා... ඇයි අය්යා.. මේ ලෝකෙ මිනිස්සු මේ හැටිම නරක.."


හිරුණිගේ දෑසේ කදුළු දැන් වියළී ඇත. ඒ වෙනුවට එම දෑසේ ඇත්තේ මහා කළ කිරීමකි. තමාගේ ලොව මෙන්ම අසරණ මෑණියන්ගේ ලොවද අඳුරේ හෙලූ එවැනි අධමයන්ට ශාප කිරීමට ඇයට ඇති අයිතිය කිසිවකුටත් උදුරා ගත නොහැකිය.


මද්දු සිටියේ ඈත එපිටකට නෙත් යොමාගෙනය. 

හැම වෙලාවේම සිනාසීගෙන සැහැල්ලුවෙන් සිටිනා බවක් පෙන්වන හිරුණි නංගී විඳවන්නේ සුළු පටු දුකක් නොවේ. අප හැම දෙනාම අසරණය. මේ ජීවිත අඳුරේ හෙළූ වරද කවදා කවුරුන් බාර ගනීවිද.


2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!