හය

පරිච්ඡේදය 6 | kum 7 වාර කියවා ඇත 0 අදහස්

නිමන්ත කාර්‍යාලයට යන විට බොහෝ දවල් වී තිබුණි. සිතේ කිසිම සන්සුන් බවක් නැත. කිසිම දෙයක් කරන්නට හිතක් නැත. මේ සියල්ලටම මුල ඔහුට හැඟුනේ නැත. කිසි දිනක සැරෙන් වචනයක් වත් කතා කර නැති පුතුට අද උදේ පහරක් ගැසුවේ ඇයි දැයි ඔහුටම සිතා ගත නොහැකිය. ඒ ගැන මතක් වෙද්දී හදවත ඇදුම් කන්නා සේ නිමන්තට දැනුනේය.


"නිමා ..අද පරක්කුයි නේද ."


අවිශ්ක ඇසුවේ නිමන්තගේ වත දෙස බලාය. ඒ මුහුණේ වූ හැම දෙයක්ම කියවන්නට අවිශ්කට හැකිය. ළගම මිතුරන්ට ජීවිතයේ කිසිම දෙයක් සඟවන්නට බැරිය. එසේ සැඟවීමත් වරදකි.


"අනේ මන්දා අවිශ්ක මටම තේරෙන්නෙ නෑ මට මොනව වෙලාද කියලා .."


නිමන්ත කීවේ ඉවත බලාගෙනය. සියල්ල ඉවසාගත හැකිය. අහිංසක දරුවාට ගැසූ පහර සිතට ගෙන ආවේ දැඩි වේදනාවකි.


"ටිකක් කල් හොදට හිටියා. ආයෙමත් පිස්සු නටන්නද හදන්නෙ නිමා.. අනේ මංදා උඹේ ඔය කේන්තිය තමයි හැමදේටම මුල.."


"ඇත්ත.. ඒත් මට මාවම පාලනය කර ගන්න බෑ අවිශ්ක. අද උදේ පුතාටත් එකක් ගැහුවා.."


නිමන්ත නැවතත් සුසුමක් පිට කළේය. අවිශ්කට පුදුම සිතුනේය. නිමාගේ පණ ඇත්තේ හිරූෂ පැටියා ළගය.


"දරුවට ගැහුවා.. උඹට මොනවා වෙලා තිබුනත් ඒවට ඒ දරුවා පලිද නිමා.. අහිංසක දරුවගෙ හිත රිද්දන්න එපා පව්.."


අවිශ්කට නිමන්ත කෙරෙහි ඇති වූයේ තරහකි. පුංච් කොළු ගැටයෙක් නොවේ. සිතේ කළකිරීම වේදනාව තිබූ පළියට ඒවා පාලනය කර ගැනීමට තමාට හැකියාව තිබිය යුතුය. 


වරුවක් නිවාඩු දමා නිමන්ත ගෙදර ගියේ සිතේ වූ නොසන්සුන් කම නිසාය. 

යද්දී චූටි පුතු හිරුණිගේ උකුළ මත හිඳගෙන අකුරු කියවමින් සිටියේය. 


ඇය අද වැඩට ගොස් නැත. චූටි පුතු නිමන්ත දුටු වනම කිරි දත් පෙන්වා සිනා සුනා මිස වෙනදා මෙන් ළගට දුවගෙන ආවේ නැත. නිමන්තගේ හදවත පිච්චී ගියේ එවිටය.

හිරුණි නිමන්ත දෙස බලා බිම බලා ගත්තා විනා කිසිවක් කීවේ නැත. එදා සිද්ධියෙන් පසු ඇය මුහුණ බලන්නේ පවා කළාතුරකිනි.


නිමන්‍ත කාමරයට ගොස් ඇඳෙහි වැතිරුණේ දැඩි සිත් තැවුළෙනි. දරු පැටියාටද තමා එපා වී ඇති සැටියකි. පොඩි දරුවන්ට රිදවීම හොඳ නැත. ඒ අහිංසකයින්ගේ ලෝකයේ කුරිරු අදහස් නැත. ඒ සියල්ලම දැන දැනත් තමා කල වරද නිමන්තට වැටහෙන්නේ දැන් ය.


හිරුණි හිරූෂ ළගට කරගෙන හිස අතගෑවාය. උදෑසන අප්පච්චී පහරක් ගැසූ වෙලේ පටන් හැඩූ දරුපැටියා කට පිය වූයේ දැන් ය. ඇන්ටී උදේ අත්තම්මා බලන්න්ට ගිය ගමන් තවම පැමිණියේ නැත. පුතුන් දෙදෙනා සමඟ තමා නිවසේ තනියෙන් තබා ගියේ විශ්වාසයෙනි. ඒ විශ්වාසය එලෙසමය. ඔවුන් පහත් මිනිසුන් නම් නොවේ. 

එනමුදු පොඩි අය්යාට මේ සිදු වී ඇත්තේ කුමක් දයි වැටහෙන්නේ නැත. 

මේ අහිංසක මුහුණ බලාගෙන පහරක් ගසන්නට ඔහු හිත හදා ගත්තේ කෙසේද? 


"මගේ පැටියා.. අප්පච්චියා ආවනේ යන්න ළගට.."


හිරුණි පැවසුවේ පුතුගේ මුහුණට එබීගෙනය. ඇස්වල වියළී ගිය කදුළු බිඳු තවම ඇත. 

තව මාස දෙක තුනකින් හිරූෂ පෙර පාසලට ඇතුළත් කල හැකිය. හිරුණි ඉඩ ලද හැමවෙලාවකම සිටියේ හිරූෂගේ ලොවේය. අම්මෙකු නැති හිරූෂගේ මව් පදවියේ සිටියේ හිරුණිත් ආච්චි අම්මාත්‍ ය.


"රත්තරං අප්පච්චියා ළගට යන්න මං කිරි එකක් හදනකල්.."


"බෑ අප්පච්චියා මට ගහනවා.."


හිරූෂ කිව්වේ හිරුණි දැඩි ලෙස අල්ලා ගෙනය. කෝපගත් විට පහරක් ගැසූ මුත් මේ පොඩි අය්යාගේ පණ බව හිරුණි දැන සිටියාය. නිවාඩු දමා එන්නට ඇත්තේද ඒ නිසාය.


"පව් නේ පුතූ.. දැන් අප්පච්චියා අඩාවි. යන්න අප්පච්චි ළගට.."


හිරූෂ නිමන්ත ළගට යෑම දැඩි ලෙස ප්‍රතිකේෂ්ප කලේය.


"එහෙනම් යං කුස්සියට දැන් බඩගිනිත් ඇතිනේ කිරි එකක් හදලා දෙන්නම්.."


හිරුණි පුතුද රැගෙන කුස්සියට ගොස් තේ සෑදුවාය. එදා බැන වැදුනු වේලේ සිට මේ වනතුරු ඇය නිමන්ත සමඟ වචනයක් වත් කතා නොකළාය. මද්දු අය්යා නම් ඇයට ඇයගේම අය්යා කෙනෙකු මෙනි. එනමුත් ආඩම්බර කමත් නපුරු කමත් කැටි වූ පොඩි අය්යා ගැන හිරුණිට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. ඔහුට සිදු වී ඇති සෑම දෙයක්ම දැන සිටිනා මුත් ඔහුගේ සිත සැනසෙන්නට හෝ වචනයක් කතා කරන්නට හිරුණි බිය විය. එදා ඇසූ බැනුම් හොඳටම ඇත.


"මගේ පැටියා ගිහිං අප්පච්චිට තේ බොන්න එන්න කියන්න එහෙනම්"


" කිරි එක බී අවසන් කල පසු පුතුට හිරුණි කීවාය. 

ටික වේලාවක් හිරුණි දෙස බලා ඉඳ හිරූෂ නිමන්තගේ කාමරය දෙසට ගියේ නිහඬවමය. 


හිරූෂ නිමන්ත වෙත ගොස් ඔහු දෙස බලා සිටියා මිස කිසිවක් කීවේ නැත. ඒ කදුළු වියළුනු මුහුණ දෙස නිමන්ත බලා සිටියේ වේදනාවෙනි.


"පුතූ .. ඔයා මා එක්ක තරහද.."


නිමන්ත ඇසුවේ හිරූෂ වඩා ගැනීමට සැරසෙමිනි. නමුත් පුතු ඊට ඉඩ දුන්නේ නැත.

"අප්පච්චී එක්ක තරහද රත්තරං ආයෙ කවදාවත් ඔයාට රිද්දන්නෙ නෑ පැටියෝ.. එන්න මගේ ළගට.."


නිමන්ත හිරූෂ වඩාගෙන සිපගත්තේ උතුරා ගිය සෙනෙහසිනි. 


"අප්පච්චී එක්ක තරහ වෙන්න එපා. මට වෙන කවුරුත් නෑ පුතේ.."


නිමන්තගේ හඬ පැටළුනේය. ජීවිතයේ තනි වූ හැම තත්පරයකම ළග සිටියේ පුතුය. ඉඳින් ඒ පැටියාගේ නිහඬ කම දරා ගන්නට මේ අප්පච්චීට බැරිය.


"මං තරහ නෑ අප්පච්චී ... මමත් උදේ ගොඩක් ඇඩුවා. ඇන්ටි තමයි මගේ ඔළුව අත ගෑවෙ. අප්පච්චිගෙ ඔළුව අත ගාන්න ඇන්ටිට එන්න කියන්නද.."


පුතු කදුළු පිරුණු නිමන්තගේ මුහුණ අත ගාමින් අසන්නේය.තමාගේ හිස අත ගාන්නට ඒ ඇන්ටී නොඑන බව නිමන්ත පුතුට කීවේ නැත. දිගු සුසුමක් පිට කර හිරූෂ තුරුළු කර ගත්තේය.



"පොඩී"


මද්දු නිමන්තට කතා කළේ දැන් ටික දිනක සිට ඔහු සිටින්නේ නොසන්සුන් සිතින් බව පෙනුණු නිසාය. හැමදාකම පොඩි මල්ලීගේ ප්‍රශ්න විසදා ඔහුගේ හිත හදන්නේ මද්දු අය්යාය. නමුත් දැන් ටික දිනක සිට ඔහු අවිවේකී වීම නිසාම මේවා සොයන්නට වේලාවක් තිබුණේ නැත.


මද්දු කතා කරන හඩ ඇසුනද ඒ ගැන වගක් නොමැතිව නිමන්ත පත්තරයට මුහුණ ඔබාගෙන සිටියේය. මද්දුට කේන්ති ගියේ මෙය දකිද්දීය.


" යකෝ උඹේ කන් දෙකත් ඇහෙන්නෙ නැද්ද.."


මොන දේ වුවත් නිමන්ත මද්දුට ටිකක් බය ය. හිස ඔසවා බැලුවේ ඒ බිය නිසාය.


"දැන් වත් ඇහුනද මං කතා කලා කියලා.."


"ඉතිං මොකද බෙරිහන් දෙන්නෙ."


නිමන්තගේ වදන්වල වූයේ නොරිස්සුමකි.


" මේ... පොඩී උඹ මටත් සැර දාන්න එනවද? අර අහිංසකයටත් ගහලා.. හිතන්න එපා මං දන්නෙ නෑ කියලා.. මොන ග්‍රහයෙක් ලබලද බං උඹ.."


නිමන්ත නැවතත් පත්තරය දෙස බලා ගත්තේය.


" පොඩී... මේ අහනවා.. තමුසෙ කාගෙන්ද මේ පළි ගන්නෙ."


මද්දුට දැනුනේ දැඩි කේන්තියකි. ජීවිතයේ තිබූ අපහසුම පරිච්ඡේද දැන් ගෙවී ගොස් ය. රත්තරං දරු පැටියෙකු සිටී. පොඩි මල්ලීට නැවත විවාහයක් කර ගන්නටද බැරි කමක් නැත. එවැනි දේකදී පුතු පැටියා බාධාවක් වුව හොත් පුතුගේ භාරකාරයා වීම මද්දු අය්යා ඕනෑම වේලාවක සූදානම් ය.


"උඹට බ්‍රග්ම දණ්ඩනය පනවලා ද පොඩී.. ඇයි බං මේ විධියට අපිට දුක් දෙන්නෙ.."


මද්දුගේ සිතට කෝපය අභිබවා නැඟ ආවේ දැඩි දුකකි. 

උපන් දා සිටන් එක්ට කාබී සෙල්ලම් කරමින් සිට වැඩිහිටියන් වූදා පවා වෙනසක් නොවූ සහෝදරයා මේ දැන් හැසිරෙන අයුරු මද්දුගේ සිතට මහත් වධයකි.


"මද්දු මට මැරෙන්න ඕනි. උඹ මගේ දරු පැටියා බලා ගන්නවා කියලා පොරොන්දු වෙයං.."


නිමන්ත කිව්වේ ඉවත බලාගෙනය. මද්දු ගොස් නිමන්ත ළගින් ඉඳ ගත්තේ දැඩි වේදනාවෙනි.


"පොඩි මල්ලී.. උඹට අපෙන් වුනු වරද මොකක්ද උඹ මැරෙනවනම් මැරෙන්න තිබුණෙ මීට අවුරුදු හතරකට විතර ඉස්සර. ඒත් ඒ කාලේ හැම දේකටම මුහුණ දීලා මිනිහෙක් වගේ හිටියා. මේ දැන් උඹට මොකද්ද වෙලා තියෙන්නෙ කියපං.. මේ මද්දු අය්යට හංගන්න තරම් දෙයක් උඹේ ළග තියනවද පොඩී..."


මද්දු නිමන්තගේ කර වටේ අතක් දමාගෙන මුහුණ තමා දෙසට හරවාගෙන ඇසුවේය. මේ සහෝදරත්‍වයේ බැම්ම පුපුරා යාමට ඉඩ දිය නොහැකිය.


නිමන්ත කළේ දිගු සුසුමක් පිට කිරීම පමණි.


"කියපං පොඩී.. උඹේ ජීවිතේට මේ දරුවා ප්‍රශ්නයක්ද එහෙම හිතන්න එපා ඒ අහිංසකයා හදා ගන්න මට පුළුවන් උඹට ඕනිම තීරණයක් ගන්න අවසර තියන්වා පොඩි මල්ලී..."


" පිස්සුද මද්දූ.. මේ පැටියා දාලා මං කොහේද යන්නෙ.."


නිමන්ත කී මුත් ඒ තුළ සැඟවූ දෙයක් මද්දුට පෙනුණේය.


"පොඩී.. උඹට ආයෙමත් මැරි කරන්න පුළුවන් මේ විධියට හැමදාම තනියම ඉන්න ඕනි නෑ. එහෙම අදහසක් තියනවනම් කියපං. මේ මද්දු අය්යා පිටුපාන්නෙ නෑ."


නිමන්ත ඇස් නොපියා මද්දු අය්යා දෙස බලා සිටියේය. මෙවන් සහෝදරයන් අද නැත. නිමන්ත මද්දුගේ අත තදින් මිරිකා ගත්තේය


සිතේ තනිවම රකිමින් දුක් විඳි මේ කතාව මේ අසීමිත සහෝදර ප්‍රේමය ළග කියා සිත නිදහස් කර ගන්නට නිමන්ත තීරණය කළේය. එහෙත් මෙය මද්දු අය්යා කෙසේ තේරුම් ගනීවිදැයි නිමන්තට සිතුණේ නැත.

රත්තරං' පුතුට අම්මා කෙනෙකු වී අම්මාට දයාබර දියණියක් වන්නට හැකි එකම කෙල්ලක් ගැන ඔහු දැන සිටියේය. එහෙත් ඇය සිටියේ ඔහුගේ ලෝකයට බොහෝ දුරිනි.


"මං හිතන දේ කවදාවත් ඉෂ්ට වෙන්නෙ නෑ මද්දු.. ඉතිං ඒක මගේ හිතේ තිබුනාවෙ. උඹට කිව්වොත් උඹත් වැරදි විදියට හිතාගනීවි. එහෙම වෙන්න ඕනි නෑ මද්දු අය්යේ.."


නිමන්තගේ හඬෙහි වූයේ දැඩි ශෝකාකූල බවකි.මද්දුට වැටහෙන්නේ දැන්‍ ය. මෙය පොඩි මල්ලීගේ සිතට නැවත වසන්තය එලඹීමේ පෙර නිමිත්තකි. මෙතෙක් කල් ඒ විශය දැඩිව පිලිකුල් කල ඔහුට එය ප්‍රිය කලේ කවුරුන් දැයි මද්දුට කල්පනා වුයේ නැත.


"මේ මද්දු අය්යා උඹත් තේරුම් අරං නැති එක ගැන පුදුමයි. ඒත් කමක් නෑ. කියපං මොකද්ද ඔය ඉෂ්ට කර ගන්න බැරි අදහස.."


මද්දු ඇසුවේ නිමන්තගේ මුහුණට එබි ගෙනය.ඇස් වල ලියවෙන රහස් කිසිදා බොරු වන්නේ නැත.


"කවුද කියපං උඹේ ඔය රත්තර හිතට ආවෙ.."


අයියන්ඩියක ලෙස නොව සැබෑම මිතුරෙකු ලෙස මද්දු විමසුවේ නිමන්තගේ දෙනෙත් දෙසම බලාගෙනය. නිමන්ත එය මඟ හැර බිම බලා ගත්තේය.


"මගේ පැටියට ආදරේ කරන අම්මා.. ඒ පැටියගෙ පණ.. අපේ අම්මා අපිටත් වඩා ආදරේ දුව.. එයා කවදාවත් මට ලැබෙන්නෙ නෑ නේද මද්දු.."


මද්දු ගැස්සී බැලුවේ නිමන්තගේ වදන් වලටය.

ඔහු සිහිනයකින් වත් මෙය නම් සිතුවේ නැත. ජම්මන්තර වෛරක්කාරියක ලෙස නිමන්ත මෙතෙක් කල් නිමන්ත හිරුණිට රිදෙව්වේය. ඇය මේවා නොකී මුත් මද්දු අය්යා සියල්ල දැන සිටියේය. 

එනමුත් ඒ සියල්ල ඉවසාගෙන ඇය හිරූෂ පුතුට අම්මෙකු වූවාය. 

මිනිසුන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට නොහැකි යැයි කියන්නේ මේ නිසා විය වන්නට ඇත. අවුරුදු විසි පහකට ආසන්න කාලයක් එකට ඇසුරු කල පොඩි මල්ලීගේ සිත මෙතෙක් කල් කියවන්නට නොහැකිවීම ගැන මද්දු පසු තැවුනේය.


"ඇයි මද්දු.. මං කිව්වෙ උඹත් මට නැති වෙනවා කියලා. මං දන්නවා ඒක කවදාවත් ඉටුවෙන්නෙ නෑ කියලා. මං වගේ කාලකණ්ණි මිනිහෙකුට ඒ අහිංසකී ගැලපෙන්නෙ නෑ.."


මද්දුට කිසිවක් වැටහුනේ නැත. තමාගේම නැගණියන් බඳු ඇයට මෙය කෙසේ කියන්නද පොඩි මල්ලීට ඇය ඔහුගේම නංගී නොවූයේ මන්ද..


" හරි පොඩී.. මට නොතේරෙනවා නෙමෙයි උඹේ හිතේ තියන වේදනාව. ඒත් පොඩී උඹ මේ තරම් කාලයක් ඒ කෙල්ලගෙ හිත කොච්චර රිද්දුවද.."


" ඇත්ත.. මගේ හිතට විරුද්ධව මං මේ තරම් කාලයක් සටන් කලා මද්දු.. ඒත් අන්තිමට මං පැරදුනා. මේ උඹේ මෝඩ මල්ලිට සමාවෙයං මද්දු.."


නිමන්ත නැඟිට්ටේ තවත් සුසුමක් පිටකරය. 











2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!