හත

පරිච්ඡේදය 7 | kum 5 වාර කියවා ඇත 0 අදහස්

කාලය ගත වූයේ වේගයෙනි. ඒ අතර බොහෝ දේ සිදුවන්නට ඇත. හිරුණි දැන් ජනප්‍රිය පුවත්පත් ලේඛිකාවකි. ඒ අතර ඇයට දසතින් ගලා ආ සුභ පැතුම් වූ අතර ඊට වඩා නින්දා අපහාස, තර්ජන වල අඩුවක වූයේ නැත. එනමුදු ඒ එක දෙයක් වත් ඇය ගණනකට වත් ගත්තේ නැත. 


"හිරූ... නංගි මොනවද ඔය තරම් කල්පනා කරන්නෙ.."


නදීජ විමසුවේ ඇය දෙස බොහෝ වේලාවක් බලා හිඳීමෙන් අනතුරුවය. 

එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක සිට ඇය දිගු කල්පනාවකය. මේ වන විට ඇයට මෙන්ම තමාටද විරුද්ධව ගොඩ නැගී ඇති තර්ජණ. ගර්ජන ගැන නදීජ පසු වූයේ නොසන්සුන් සිතිනි. තමාට කුමක් වූවත් හිරුණි ගැන දැනුණේ බියකි. 

ඇය කෙරෙහි සිතෙහි ගොඩ නැගුණු ලෙංගතුකම නදීජ කිසි විටකත් හිරුණිගෙන් සඟවන්නට උත්සාහ නොකළේය. නමුදු ඒ ගැන හිරුණි කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූවාය. මේ නිසාම ඒ ලෙංගතුකම එසේම මිය යන්නට දුන්නා මිස විප්ලව කර එය දිනා ගන්නට නදීජ සිතුවේ නැත. බලෙන් හිමි කර ගන්නා කිසිම දෙයකට පැවැත්මක් නැති බව ඔහු දැන සිටියේය. නමුදු ඇයගේ ජීවිතයට යහපතක් මිස අයහපතක් නදීජගේ සිතේ තිබුණේ නැත. 


"නදීජ ඔයා ගෙදර ගියේ නැද්ද.. "


සේවය නිම වී දැන් පැයකට ආසන්න වන්නට ඇත. හිරුණි හිරූෂ පුතුට උවමනා යැයි කී ද්‍රව්‍ය කිහිපයක් රැගෙන බස් නැවතුම්පලට පැමිණියේ දැන් ටිකකට පෙරය. තවම නදීජ මෙතනය. 


"මං ලයිබ්‍රි එකට ගියා. පොතක් ගෙනාවා දෙන්නද.."


"ඉතිං ඔයාට .. අද නේ ගත්තේ.."


'Desert Flower ' කලින් වතාවක් කියවා ඇති මුත් නැවත කියවන්නට ආස හිතෙන පොතකි. 


"කමක් නෑ ගන්න. මං පස්සෙ බලන්නම්"

නදීජ පොත හිරුණි අත තැබුවේය.


"නංගි ඔයා පරිස්සම් වෙන්න. දැන් අනතුරු ඇඟවීම් ගොඩක් කරලා තියෙන්නෙ..මට බයයි ඔයා ගැන.."


බියගුල්ලෙකු වී මේ රැකියාව කරන්නට බැරිය. නමුත් කිසිම වරදක් කර නැත. කර ඇති එකම දෙය ඇත්ත කතා කිරීම පමණි. 


"බලමු නේද නදීජ.. උන් ඇයි අපිට එහෙම තර්ජණ කරන්නෙ.. මේ ලෝකෙ බොරුව විතරමද රජ කරන්න ඕනි.."


නදීජට එක අතකට පුදුමය.හිරුණි එඩිතර කෙල්ලක් බව නදීජ මුල සිටම දැන සිටියේය. අයුක්තිය අසාධාරණය හමුවේ මහත් සේ කිපෙන ඇය තමාට ලෙංගතු අයෙකුගේ එක හිත රිදෙන වචනයකින් හඩා වැටෙන්නීය.


"ඇයි.. මූණෙ පෙරහැරක් යනවද.."

හිරුණි අසන්නීය. නදීජගේ මේ හැසිරීම හිරුණිට අමුතු නැත. යම් කිසිවක් යදිමින් ඔහු කතා කරන්නේ හිතේ ගැඹුරුම තැනටය. එනමුදු හිරුණි ඒ ගැන සිතන්නට උත්සාහ ගත්තේ නැත. ආසා හිතෙන දඟකාර කොල්ලෙක් පමණි හිරුණිට ඔහු.


"එහෙනම් මං යන්නම්.. බස් එක ආවා පරිස්සමට යන්න හොඳද.."

නදීජ ගොස් බස් රියට නැංගේය. ගෙදර තාත්තාගේ වාහන තිබෙන මුත් ඔහු ඒවා පාවිච්චි කලේ නැත. තාත්තාත් ඔහුත් අතර වූයේ බොහෝ දුරස්ථ බවකි. 

හිරුණිට නදීජ ගැන ඇති වන්නේ අනුකම්පාවකි. තාත්තා විදුහල් පති කෙනෙකු බව ඔහු වරෙක කීවේය. තමා වැනි දුප්පත් අවජාතක කෙල්ලක් ඔහුට කොහෙත්ම ගැලපෙන්නේ නැත.


'නිමන්ත' පොඩි අය්යා ගැන සිහිවන විට හිරුණි සිතින් වින්දේ මහා දුකකි. ඔහු දිගු කරන දෑතට යන්නට හිරුණිට බැරිය. 

තමාට අම්මෙකු මෙන් සලකන ඇන්ටීට ද්‍රෝහි වීම පාපයකි. තමාගේ ජීවිතයේ සැබෑ තතු දන්නා ඇය මෙයට කෙසේවත් කැමති වන්නේ නැත. 

ඇය දැන් පොඩි පුතාට මනමාළියක් සොයමින් සිටින්නීය. එවන් තත්වයක් හමුවේ මෙය කිසි සේත්ම සිදු නොවන්නකි. 

හදවතට එකඟව ගතහොත් දැන් තමාගේ සිත තනිකරම පොඩි අය්යා සතු කරගෙන හමාරය. නමුදු එය කිසිදා ඉටු නොවන හීනයකි. 


හදවතට ප්‍රථමයෙන්ම දැනුණු ආදරයේ මුදු සුවඳ ගව් ගානක් දුර වූ හීනයක් වී හමාරය.


"ඇන්ටී...අද ටීච අම්මගෙ නම ඇහුවා.."

හිරූෂ පුතු හිරුණි ළගට වී රූප අඳිමින් ඉන්නා අතරතුර කීවේය. හිරුණිට දුක හිතුණේ එය කිවූ ආකාරයටය. එනමුත් ඒ ගැන විමසා පුතුගේ හිත රිදවන්නට නොහැකි නිසාම ඇය නිහඬව සිටියාය.


"මං කිවුවා... හරි වැඩේනෙ ඒ වෙලාවෙ මට ඇන්ටිගෙ නම අමතක වුනා.. ඒ වුනාට මං කිවුවා.." 

ඔහු අත්පුඩි ගසමින් සිනාසෙන්නේය.

"හිරුණි .. මං ඒ නම කිව්වා."


පුතු හිරුණිගේ දෙතොලට පැන්සල තබමින් සිනාසෙන්නේය.

තිගැස්සුනු බවක් නොඅඟවා ඉන්නට හිරුණි උත්සාහ කලේ අමාරුවෙනි.

දරු පැටියාට තමා හැදූ අම්මෙක් පමණි. සදහටම තමාගේ කර ගන්නට දෙනවානම් අකමැති නැත. නමුත් ඒවා සිදු නොවන දේවල් ය. 


"ඇන්ටී මං ඔයාට අම්මා කියන්නද.."


හිරුණි දෙනෙතින් ගලා ආ කදුළු බිඳු පුතුට නොපෙනෙන්නට පිසදා ගෙන ඒ මුහුණ තමා වෙත ලං කර ගත්තේය.


"මගේ පුතු අද ළමයි එක්ක දඟ කළේ නෑ නේද.."


"නෑ ..ඒත් අර ඇස් ලොකු බණ්ඩා මට දිව ඇද්දා.. මං එයාට ටොක්කක් ඇන්නා.."


පුතුගේ සුරතල් කතාවට සිනහ නොවී සිටිය නොහැකිය.


"ළමයින්ට නම් හදන්න හොඳද? එහෙම කියන්න එපා පුතා.. පවුනේ ඒ ළමයා.."


"හරි මීට පස්සෙ නම් කියන්නෙ නෑ.. දිව ඇද්දොත් ටොකු දෙකක් අනිනවා.."

හිරූෂ කිව්වේ පුංචි මුවට සිනාවක් නඟාගෙනය.


දිනක් පුතු රැගෙන ඒමට ගිය හිරුණිගෙන් මොන්ටිසෝරියේ ගුරුතුමිය ඇසූ දෙයක් තවම මතකය.

එදා ඔවුන්ට අම්මාගේ හා තාත්තාගේ රූප අඳින්නට කියා තිබුණේය. 

පුතු තාත්තාගේ රූපය ලස්සනට ඇඳ තිබුණි. අම්මාගේ අපැහැදිලි රූපය පුරා කළු පාට කූරක් උලා තිබුණේය. එය පෙන්වා ගුරුතුමිය ඇසුවේ 'දරුවාට අම්මා ගෙදරදී ගහනවාද' කියාය. නමුත් ඔහුට එසේ තරවටු කරන්නට හෝ අම්මෙකු නැතැයි කියන්නට හිරුණිට සිතුණේ නැත. 

ප්‍රශ්නය මඟ හැර හිරුණි පුතු රැගෙන ගෙදර ආවාය.

පුංචි දරුවන්ගේ සිත් මල් වැනි යැයි කියන්නේ ඒ නිසාය. පුතුට පෙනෙන්නට අම්මෙක් නැත. ඒ රුව පුතුගේ ලොවේ කිසිම පැහැදිලි බවක් නැති චිත්‍රයකි. ඉඳින් අදින්නේ කුමක්ද

ඔහු වටා ගොඩ නැගුණු ලොවේ සිටියේ අප්පච්චීය. 

එදා ඒ චිත්‍රයේ යටින් තවත් රූපයක් ඇඳ ගුරුතුමියට කියා ඇන්ටී ලෙස ලියවාගෙන තිබුණි. 

ඔහු එදා එලෙස සිත්තම් කර තිබුණේ හිරුණිය. අදත් ඒ පුතුම තමාට අම්මා කියන්නට අවසර ඉල්ලන්නේය. ඒ ප්‍රශ්නය ළගදී හිරුණි බොහෝ අසරණ වූවාය



මද්දු සිටියේ රූපවාහිනියේ විකාශනය වෙමින් තිබූ පා පන්දු තරඟයක් නරඹමිනි. මෙවැනි දේ සඳහා ඔහුට දැන් විවේකයක් නැත. විටෙක ඔහුට මේ අවිවේකී ජීවිතය ගැන ඇති වූයේ තද කළකිරීමකි. එනමුදු සියල්ල මුදල් මත පදනම් වූ ලෝකයක මුදල් පසුපස හඹා යනවා විනා කළ හැකි අන් දෙයක් නැත. ඔහුගේ දැන් සිහිනය මෝටර් රථයක් මිළදී ගැනීමය. 


"මද්දු ඔයා කෑම කෑවද.."


ගෙදර සියල්ලන්ම එකව ආහාර ගත් දිනයක් මතක නැත 

පොඩි මල්ලී ගෙදර සිටිනා වේලාවක් සොයා ගැනීමට නොහැකිය. පොඩී දැන් අමුතුම මිනිසෙකි.


"මං කෑම කෑවා අම්මා.."

"මද්දු මොකද්ද මේ පොඩීට වෙලා තියෙන්නෙ මොන වෙලවෙ බැලුවත් ගෙදර නෑ.."


සීලවතී හාමිනේටද පොඩි පුතාගේ මේ වෙනස දැනී දැන් ටික කලක්‍ ය. ගෙදර සිටිනා වෙලාවට දරු පැටියා ළග තබාගෙන කල්පනා ලෝකයකය. නැතහොත් කාමරයට වී නිදා ගත් ගමන්‍ ය.


" මං දන්නවද අම්මා.. අම්මා අහලා බලන්න.."


"මං මේ දහ අතේ හඳහන් බල බලා ඒවාට දේවල් කරනවා. මෙයාට මේ අන්තිම අපල කාලයක් කියලා හඳහන බැලුවම කිව්වා.. අනේ මංදා.."


"උඹත් ගෙදරට නාකි වෙන්නද කල්පනාව. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මේවා කෙරෙන්න ඕනි මද්දු.."


ඒ ඇසූ මද්දුට සිනා ගියේය. ඉතාම ඉක්මනින් අම්මා මේ ප්‍රශ්නය අදින බව මද්දු දැන සිටියේය. එනමුදු දැන්ම විවාහ වීමේ අදහසක් මද්දුට තිබුණේ නැත.


"මොකක්ද අම්මා.. තවම විසි හතයිනේ.. තව ටික දවසක් ඉන්න දෙන්නකෝ.."


"මද්දුගේ කතාවට සීලවතී හාමිනේටත් සිනාය. ඔහුට හැමදේම විහිළුය.


"ඔයාට ඉතිං හැමදේම විහිළුනේ. මේ පොඩි මල්ලිට කටයුත්තක් කරලා දුන්නොත් මේ ගති නැති වෙයි නේද මද්දු පුතේ.. මගේ අහිංසකයා මේ විදියට දුක් විඳින්නෙ මොන කරුමයක් කරලද.."


ඔහුගේ සතුට රැඳී තිබුණේ මේ ගෙදරම කෙනෙකුගේ හදවතේ බව කියන්නට සිතුන මුත් ඔහු එය නොකිවිවේය. දෙදෙනා දෙපලකට වී විඳිනා මේ දුක මද්දු අය්යා නොහැඳුනුවා නොවේ. දෙදෙනාගේම දුක අහුවේ ඔහුය.


"මම ගාල්ලෙ නැන්දට කිවුවා හොඳ තැනකින් කටයුත්‍තක් හොයන්න කියලා. හැමදාම මෙහෙම ඉන්නද දරු පැටියා මට වැඩි නෑ.."


සීලවතී හාමිනේ මද්දුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් බලා සිටියාය. පොඩි මල්ලීගේ ජීවිතයට යහපතක් සිදුවන්නේ නම් මද්දු අය්යා කිසිම දිනක එයට විරුද්ධ වන්නේ නැත. එනමුත් අම්මාගේ සිතේ ඇති මේ අදහස නම් පොඩීගේ ජීවිතයට කෙසේ බලපාවි දැයි සිතන්නට මද්දු උත්සාහ කලේ නැත.


"අම්මා ගෙදර ඉන්න වෙලාවක කියලා බලන්න..'


මද්දු කිව්වේ එපමණකි. ඔහුට හිතට විරුද්ධව කතා කරන්නට නොහැකිය. 


මිනිසුන්ගේ හදවත් කියවන්නටත් ඒවාට කතා කරන්නටත් ජීවිතය කැප කරන හිරුණි නංගීට සිදුවී ඇත්තේ 'ආදරය' නම් වූ ජීවිතයේ සුන්දර වූත් වටිනා වූත් දෙය අභියස ගොළු හදවතක් ඇත්තියක ලෙස හිඳින්නටය. 

දෙමව්පියන්ගේ වැරදි හමුවේ අද දුක් විඳින්නේ ඇයය. එනමුදු නැවුම් පිවිතුරු කුසුමියක් බඳු ඇයට වරදින්නට හේතුවක් නැත.


පොඩී අරඹයා අම්මා සමඟ මේ මාතෘකාවට බසින්නට මද්දුට හැකිය. එනමුදු එදා හිරුණි වැදවැටී කිවුවේ මෙය කෙසේවත් අම්මාට නොකියන ලෙසය. ඉඳින් ඒ ඉල්ලීම පැත්තකට දමන්නට නොහැකිය. දෙදෙනා විඳින දුක බලා සිටින්නටත් නොහැකිය.


රූපවාහිනිය ක්‍රියා විරහිත කර දමා මද්දු සැරසුනේ නිදාගැනීමට යාමටය. එවිට රාත්‍රී දහයත් පසු වී තිබුණි. සුපුරුදු පරිදි මුහුණ බිමට නැඹුරු කරගෙන කට්ට කළුවරේම පොඩී පැමිණියේ එවිටය. දවස් ගණනකින් නොකැපූ රැවුල ඔහේ වැවී තිබුණේය. මුහුණ ඉඩෝරයට හසූ වූවක් මෙනි. දරුවකුත් සිටින පරිනත මිනිසකු ලෙස ඔහු මීට වඩා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දිය යුතු නොවේද.


ඒ වන විටත් සීලවතී හාමිනේ නින්දට ගොස් තිබුණේය. පීනස් අමාරුවෙන් පීඩා විඳි ඇයට නිදි මැරීමට නොහැකිය. 


"ඇයි බං කෑම කන්නෙ නැද්ද.."


මද්දු පොඩීගේ කාමරයට එබී බලා ඇසුවේ ඇතුළට ගිය ඔහු පිටතට එන බවක් නොපෙනුන නිසාය. 

ඇඳගෙන ආ ඇඳුම්න්ම ඇඳ උඩ වැතිරී වහල දෙස හිස් බැල්මෙන් බලා සිටි සහෝදරයා දකිද්දී මද්දුගේ සිතට ගෙන ආවේ දැඩි වේදනාවකි.


"පොඩී .. කෑම කන්නෙ නැද්ද.."


" නෑ.."

තනි වචනයෙන් උත්තර දී අනෙක් පසට හැරුණේය. 

මේ දේවල් වලට තමා පලි දැයි අසන්නට සිතුනමුත් මද්දු නිහඬව ආපසු හැරුණේ 'වේදනාව ඇත්තේ තුවාලය ඇති මිනිසාටය' කියමන අසා තිබූ බැවිනි. 

හිරුණිගේ කාමරයේ විදුලි පහන තවම නිවා නැත. ඇය තවම කුමක් හෝ වැඩක නිරත වී සිටිනවා වන්නට ඇත.


"නංගී.."


කාමරය අසළට ගිය මද්දු කතා කලේ සෙමිනි. මේවාට අත දමාත් බැරිය. නොදමාත් බැරිය.


"මද්දු අය්යා.."


"අන්න අර මිනිහා නොකා නොබී ඉදලා ආයෙත් ලෙඩ හදා ගනීවි. නංගිවත් ගිහිං කතා කරන්න බලන්න..."


හිරුණි බිම බලා ගත්තාය. වචනයක් මුත් කතා කලහොත් ආයාසයෙන් මැඩගෙන ඉන්නා කදුළු ගඟ ගලා යනු ඇත. 

හිස ඔසවා බලද්දී මද්දු අය්යා සිටියේ නැත. මේ හිත ගලක් නොවේ. එනමුදු අසම්මත ආදරයක් හමුවේ හිත ගලක් කරගෙන දුක් විඳින්නට සිදුව ඇත. 


මේ රෑ පොඩ් අය්යාගේ කාමරයේ තමා සිටිනු දුටුව හොත් ඇන්ටී මොනවා හිතාවිද කියා කල්පනා කරන්නට දැන් ඇයට බැරිය. ඒ සියල්ල අභිබවා පොඩි අය්යාගේ වේදනාබර මුහුණ මතුව එද්දී ඇය කාමරය දෙසට පිය මැන්නේ සිදුවන ඕනෑම දෙයකට මුහුණ දෙන්නට සිතාගෙනය


======================


විදුලි පහනද දල්වාගෙන ඔහු උදේ ඇඳි ඇඳුම් පිටින්ම නිදිය. නැති නම් නිඳි ලෙස සිටින්නේය.


"පොඩි අය්යා..."

හිරුණිගේ හඩට නෙත් විවර කළ නිමන්ත ඇය දෙස බැලුවේය. ඒ කතා කරනා ඇස් කියන දේ හිරුණිට නොතේරෙනවා නොවේ.


"යං කෑම කන්න.."

"ඕන නෑ නංගී.. ඔයා ගිහිං නිදා ගන්න.."


නිමන්‍ත කිවුවේ දිගු සුසුමක් පිට කරය. හිරුණිට දැනුණු හැඟීම ඇයටවත් තේරුණේ නැත.


"පොඩි අය්යා.. මට සමාවෙන්න ඔයා වගේ රත්තරං කොල්ලෙකුට අප්පච්චියෙකුට ආදරේ කරන්න මට අවසර නෑ.."


හිරුණි කිව්වේ නැඟුනු ඉකිබිදුම ආයාසයෙන් මැඩගෙනය. මේ හිතට ඕනෑ තරම් දුක් උහුලන්නට හැකිය එහෙත් තවත් හිතක් තමන් වෙනුවෙන් විඳිනවා බලා සිටින්නට බැරිය.


"නෑ ඒක නෙමෙයි ඇත්ත මං ඔයාට ගැළපෙන්නෙ නෑ. මං ඒක දන්නවා ඒත් මට හිතහදා ගන්න බෑ නංගි.."


හිරුණි එවදන් හමුවේ ගල්ගැසුනාය. එය ඇත්තක් වන්නේ කෙසේද.


" ඔයාගෙ ළග.. චූටි පුතාගෙ ළග සදා කාලයටම ඉන්න මං කැමතියි. දෙයියනේ. ඒත් මං වගේ දුප්පත් අසරණ කෙල්ලෙකුට ඒ වගේ දේවල් හිතන්නවත් බෑ අය්යා.."


හිරුණිට බියක් දැනුණේ නැත. ජීවත්වන අවසන් තත්පරයේ හෝ මේ ආදරණීය දෙනෙත් අභියස ඉඳ මිය යනවානම් එයත් සැපතකි.


" නංගි යන්න . ඔයාගේ ජීවිතේ තව ගොඩක් දේවල් ලස්සනට සිද්ධ වෙන්න තියනවා. මේ කාලකන්නියා ගැන හිතන්න එපා. කෙල්ලෙක්ගෙ ජීවිතේට පුංචි කැළලක් වත් ඕනි නෑ. මං හින්දා ඒවා වෙන්න දෙන්න බෑ. මටයි පුතුටයි ඔයා නැතිව ජීවත් වෙන්න බැරි වෙයි මැණික.. ඒත් මොනව කරන්නද.."


නිමන්තගේ දෙනෙත් දෙස හිරුණි බලා සිටියාය. ඔහු සිතේ හිරකරගෙන දුක් විඳි ඒ ආදරේ ඇය ඉදිරියේ දුක සමඟ දිය කර කියවාගෙන ගියේය.


"පොඩි අය්යා මං කොහොමද ඇන්ටිට පිටු පාන්නෙ ඇන්ටි කවදාවත් මං වගේ කෙල්ලෙකුට කැමති වෙන්නෙ නෑ කියලා මං දන්නවා. ඒ අම්මගෙ හිත නොරිදෙන්න ඕනිම දෙයක් කරලා මං ඔයා ළගට එන්නම් . මට කියන්න අය්යා මං මොනවද කරන්න ඕනි කියලා.."


හිරුණිගේ දෑසින් ගලා ගිය කදුළු නොකඩවා බිමට ඇද වැටුණේය. සැබෑ ආදරයක ඇවිළෙන දුක් ගින්නක් හමුවේ දෙනෙතින් ගලන කදුළු වලට පවුරු බඳින්නට නොහැකිය. 

ලෝකයා හමුවේ එඩිතර කෙල්ලක ලෙස ඇති තතු පහදමින් පන්හිඳෙන් හදවතට කතා කරනා ජනප්‍රිය ලේකිකා 'හිරුණි සමරදිවාකර' මෙලෙස තමා අභියස හඩා වැටෙද්දී නිමන්තට මුළු ලොවම අමතක විය. තමාගේ නොවූ නමුදු නිමන්ත හිරුණි දෑතට මැදි කරගෙන ඒ මුහුණ තමා දෙසට හරවා ගත්තේය. 

"අඩන්න එපා.."


නිමන්ත ඇයගේ නළල මහත් ආදරයෙන් සිඹ ගත්තේය. පිරිමි පපුවක උණුසුම ජීවිතයේ පලමු වරට ලද්දී ඒ පපුවට තුරුල් වූයේ ආදරණීයම හැඟීමකින් සිත වෙලා ගනිද්දීය. 


නිමන්ත ඇයගේ නිකටෙන් අල්ලා මුහුණ තම මුහුණට ලං කර ගත්තේය. ඒ ඇස් එකට හමු විය. සංසාරේ කෙදිනක අහිංසක මුහුණ තමාට හමු වී තිබෙන්නට ඇත. මේ ආත්මයේ ඒ හමු වීම මඟ ඇරුණේ කෙසේද. මේ ඇස් මානයෙන් ඈතට යන්නේ කෙසේද නිම්න්ත තව වරක් ඇයගේ නළල සිම්ඹේ උතුරා ගිය සෙනෙහසිනි. ඒ උණුසුම් පපුවට සිරවී හිරුණි දෙනෙත් පියා ගත්‍තේ ඒ ආදරණීය නිමේෂයෙන් මිදෙන්නට ලෝභ කමිනි.






2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!