දුර 🌹(Short Story) ✨️03 කොටස✨️✨️
✨️ ජීවිතේ හරි පුදුමයි නේද...❤️🩹 සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ, අපිටත් නොදැනී අපේ හිතට ලස්සනම මතකයක් වෙලා...❤️ ඒත් කාලයක් ගියාම, හිතට හුරු වුනු ඒ මිනිස්සුන්ව අහිමි වෙලා යන කතා හරිම අසාධාරණයි වගේ දැනෙනවා...❤️🩹 දුර 🌹ත් ඒ වගේ කතාවක්..
දුර 🌹 (Short Story)
✨️03 කොටස.
මාස දෙකේ මුල් සති දෙක ගෙවුණේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින්.
චේතකි උදේ පාඩම් කරනවා.
ශෙහාන් දවස පුරා තමන්ගේ වැඩවල.
හවසට ඔහු ගෙදර එනවා.
ඒක හැමදාම එකම විදිහට සිද්ධ වුණා.
ඒත් රෑ වෙද්දි ඒ දෙන්නාගේ දවස වෙනස්.
මුලින් චේතකිට හිතාගන්න බැරි වුණේ ශෙහාන් ඇගේ room එකට එන්නේ ඇයි කියලා.
“තවම පාඩම්ද?”
“ඔව්.”
“මොනවද?”
“මේ.”
ඔහු පොත දිහා බලනවා.
“තේරෙනවද?”
“ටිකක්.”
“ටිකක් කියන්නේ?”
“ටිකක්.”
“එහෙනම් මටත් කියලා දෙන්න.”
“ඔයාට මේක ඕනෙ නැහැනේ.”
“ඒක අදාළ නෑ.”
ඔහු ඇගේ table එකේ අනිත් පැත්තේ වාඩි වෙනවා.
එතැනින් පටන් ගත්තේ ඒක.
දවසක විනාඩි දහයක්.
ඊළඟ දවසේ පැය භාගයක්.
ඊට පස්සේ...
කවදා ඔහු ඇගේ room එකට ඇවිත් වාඩි වෙනවාද කියලා දෙන්නාටම හිතාගන්න බැරි වුණා.
---
රෑ වෙද්දි ගෙදර නිහඬ.
මල්ලිලා නිදි.
ශෙහාන්ගෙ තාත්තා office එකේ වැඩ ඉවර කරලා room එකට ගිහින්.
ශෙහාන්ගෙ අම්මත් ගෙදර වැඩ ඉවර කරලා නිදි
චේතකිගේ room එකේ light එක විතරයි තාමත් දැල්වෙන්නේ.
ශෙහාන් දොර ළඟට ඇවිත් නිකමට තට්ටු කරනවා.
“ඇතුළට එන්න.”
“නිදි නැද්ද?”
“නෑ.”
“දැන් වෙලාව කීයද කියලා දන්නවද ?”
ඇය phone එක බලනවා.
“එකයි.”
ඔහු ඇය දිහා බලනවා.
“ඔයා exam එක ලියන්නේ හෙටද?”
ඇයට හිනා.
“නෑ.”
“එහෙනම් නිදාගන්න. අසනීපයක් හැදෙයි”
“ඔයාත් නිදාගන්න.”
“මං තාම වැඩ.”
“මාත්.”
ඔහු හිනා වුණා.
“හරි. කරගෙන යන්න.”
ඔහු යන්න හැරෙනවා.
“ශෙහාන්.”
“ම්ම්?”
“මෙතන ඉඳන් කරන්න.”
ඔහු තත්පරයක් ඇය දිහා බැලුවා.
ඊට පස්සේ ඇතුළට ඇවිත් වාඩි වුණා.
ඒ රෑ දෙන්නා පාඩම් කළේ පැය එකහමාරක්.
අවසානයේ පාඩම් කරපු දේවල්වලට වඩා කතා කරපු දේවල් වැඩියි.
පොඩි කාලේ කරපු විහිළු.
School එකේ සිද්ධි.
කවුද වැඩියෙන් දඟ කියලා.
කවුද වැඩියෙන් තරහා යන්නේ කියලා.
අන්තිමට ඔවුන් දෙන්නාටම තේරුණේ නැහැ කොහොමද එච්චර වෙලා ගියේ කියලා.. 😄
---
එක රෑක චේතකි ඔහුගෙන් අහනවා,
“ඔයා පොඩි කාලෙත් මෙහෙමද?”
“කොහොමද?”
“හැමදේටම boss වගේ.”
“මං?”
“ඔව්.”
“ඔයාට එහෙම පේනවද?”
“ටිකක්.. ම්ම්..
ටිකක්මත් නෙවෙයි. හොඳටම.”
ඔහු හිනා වුණා.
“ඔයාට මං ගැන හොඳ opinion එකක් තියෙනවා එහෙනම්.”
“මං එහෙම කිව්වෙ නෑ.”
“කියන්න ඕන නෑ. මූණෙන් පේනවා.”
ඇය ඔහුට කොට්ටයක් විසි කළා.
ඔහු ඒක අල්ලගත්තා.
“මේවට තමයි කියන්නේ respect.” ශෙහාන් කිව්වා.
“ආයෙ කියන්න බලන්න.” ඇය කිව්වා.
“මොකක්ද?” ශෙහාන් ඇහුවා.
“මං ඔයාට respect කරනවා කියලා.”
“කවද්ද?”
“දැන් ඔයා කිව්වෙ.”
“මං මුකුත් කිව්වෙ නෑ”
"අනේ මේ පිස්සෝ.. ගිහින් වැඩක් බලාගන්නවා. ඔයා මගෙත් ඔලුව අව්ල් කරනවනේ." ඇය නොරුස්නා ස්වරූපෙකින් කිව්වා.
" හරි මැඩම් යන්නම් " ඔහු ආපහු හැරුනා.
ඇය බිම බලාගෙන හොරෙන්ම හිනා වුණා.
ඔහු හිත යටින් සතුටු වුනා.
ඒ වගේ රෑවල් ගොඩක් තිබුණා.
කවුරුත් දන්නෙත් නැති.
කවුරුත් අහන්නෙත් නැති.
ඔවුන් දෙන්නාට විතරක්ම අයිති වුණු ✨️🌙
---
සමහර දවස්වල පාඩම් කරන්න කලින් දෙන්නා kitchen එකට යනවා.
ගෙදර අය එතකොට නිදි.
Fridge එක ඇරලා බලනවා.
ඇය කෑම ටිකක් හොයනවා.
ඔහු,
“ඔයාට මිරිස් කන්න පුළුවන්ද?”
“පුළුවන්.”
“බොරු.”
“පුළුවන්.”
ඔහු අඹ ගෙඩියක් අරගෙන මිරිස් දාලා දෙන්නාට හදාගන්නවා.
චේතකි මුලින්ම ටිකක් කාලා තත්පරයක් නිහඬව හිටියා.
ශෙහාන් ඇය දිහා බලලා,
“මොකද?”
“හොඳයි.”
“ඇත්තට?”
“ඔව්.”
ඔහුත් ටිකක් දාගත්තා.
තත්පර දෙකකට පස්සේ ඔහුගේ ඇස් ටිකක් ලොකු වුණා.
චේතකිට හිනාව නවත්තගන්න බැරි වුණා.
“මොකද හිනා වෙන්නේ?”
“ඔයාට සැර කන්න බැහැනෙ.”
“මට පුළුවන්.”
“එහෙනම් කන්න.”
“කනවා.”
ඔහු තවත් කටක් කෑවා.
ඇයටනම් තාමත් හිනා.
“තව?”
“තවත් පුළුවන්.”
ඒ රෑ දෙන්නා මිරිස් වැඩි කරපු අඹ කමින්, වතුර බොමින්, හිනාවෙමින් හිටියා.
"ඔයා අහලා තියනවද මේ මහ රෑ කවුරුත් අඹ අච්චාරු හදන් කනවා කියලා" චේතකී ඇහුවා.
"ඔව්. අපි කරන්නේ ඒකනෙ " කියලා ඔහුත් මද සිනාවක් පෑවා.
"කෑ ගහන්නෙපා " අම්මලා ඇහැරෙයි. චේතකි ඇගේ අතෙන් ශෙහාන්ගේ කට වහගෙන ඔහුගේ ඇස් දිහා බලන් හිටියා.
ඔහුට ඒක අමුතු හැගීමක් වගේ දැනුනා.. යම් කිසි අපහසුවක් වගේ, නොසන්සුන් කමක් , පාලනයක්.
"හරි අපි දැන් නිදාගමු" ඔහු ඉක්මනින් කිව්වා.
ඇයත් එකග වුනා.
රෑට පාඩම් කරද්දි අඹ කන එක, තේ එකක් බොන එක.. ඒක ඔවුන් දෙන්නාගේම පොඩි habit එකක් වගේ වුණා.
කවුරුත් දන්නේ නැති පුරුද්දක් ✨️
---
දවසින් දවස ඔවුන්ගේ කතා වෙනස් වුණා.
මුලදී “පාඩම් කළාද?” වගේ දේවල්.
ඊට පස්සේ,
“අද දවස කොහොමද?”
“අද ඔයාට තරහා ගියේ ඇයි?”
“ඔයාට මේක ඇත්තටම කරන්න ඕනෙද?”
“අනාගතේ මොනවද කරන්න හිතන් ඉන්නේ?”
වගේ දේවල්.
ශෙහාන් තමන් ගැන හැමෝටම නොකියන දේවල් කිහිපයක් ඇයට කියන්න පටන් ගත්තා.
ඔහුට බය දේවල්.
ඔහුට කරන්න ඕන දේවල්.
තාත්තගේ වැඩ ගැන ඔහුට තියෙන pressure එක.
තමන්ට හැම වෙලාවෙම strong වෙලා ඉන්න සිද්ධ වෙන එක.
චේතකිත් තමන්ගේ දේවල් කියන්න පටන් ගත්තා.
ඇයට තියෙන පොඩි බය.
තමන් ගැන තියෙන doubts.
ඇයට කවදාවත් කාටවත් කියන්න හිතුණේ නැති දේවල්.
ශෙහාන් ඇය කියන හැම දෙයක්ම අහගෙන හිටියා.
වෙලාවකට advice එකක්.
වෙලාවකට විහිළුවක්.
වෙලාවකට කිසිම දෙයක් නැහැ.
ඇය කතා කරලා ඉවර වෙනකම් ඔහු නිහඬව ඉන්නවා.
ඒ නිහඬකම ඇයට ආරක්ෂිත තැනක් වුණා.✨️
---
ඒ අතරේ ඔවුන් දෙන්නා අතර වෙනසක් ඇති වෙමින් තිබුණා.
ඒක පටන් ගත්තේ කවදද කියලා දෙන්නාටම මතක නැහැ.
ශෙහාන් ඇය දිහා බලන විදිහ ටිකක් වෙනස් වෙලා තිබුණා.
චේතකිටත් ඔහු ළඟ ඉන්නකොට හිතේ මොකක්දෝ නොදන්නා උණුසුමක් දැනෙන්න පටන් ගත්තා.
ඔහු හිනාවෙනකොට ඇයත් හිනාවෙනවා.
ඔහුට තරහා ගියොත් ඇයට ඒක දැනෙනවා.
ඔහු දවසක් ගෙදර එන්න පරක්කු වුණොත් ඇය phone එක බලනවා.
“තවම නැද්ද?”
කියලා නොදැනුවත්වම හිතනවා.
ඔහු ගෙදර ආවම ඇයට ඒකෙන් පස්සේ හොදට පාඩම් කරන්න පුළුවන්.
ඒක ඇයටම අමුතුයි.
ඒත් ඇය ඒ ගැන වැඩිය හිතුවේ නැහැ.
ශෙහාන්ටත් එහෙමයි.
ඇය ඔහුගේ room එකට ආවම ඔහුට වැඩ කරන්න බාධාවක් දැනෙන්නේ නැහැ.
ඇය යන්න හැදුවම,
“තව ටිකක් ඉන්න.”
කියලා කියන්න හිතෙනවා.
ඒත් කියන්නේ නැහැ.
ඇය ගියාට පස්සේ room එක හදිසියේම නිහඬ වුණා වගේ දැනෙනවා.
ඔහු ඒකට හේතුව හොයන්නේ නැහැ. ඒත් හිත ඇතුලෙන් සියුම් ගිනි පුපුරක් වගේ තැන්පත් වෙලා තියන බව දැනෙනවා..✨️
---
කාලය ගෙවුණා.
දෙන්නාම තමන්ගේ හිතේ සිද්ධ වෙන දේවල්වලට නමක් දුන්නේ නැහැ.
ඒත් ඔවුන් දෙන්නා අතර තිබුණු distance එක...
හැමදාම ටික ටික අඩු වෙමින් තිබුණා.
දෙන්නාම ඒක දැනගෙන හිටියේ නැහැ.
නැත්නම්...
දැනගෙනත් නොදන්නවා වගේ හිටියා.
මොකද සමහර හැඟීම්වලට නමක් දුන්නොත් ඒවා වෙනස් වෙයි කියලා හිතෙනවා.
ඒ නිසා ඔවුන් ඒ හැඟීමට නමක් දුන්නේ නැහැ.
ඒක එහෙමම තිබුණා.
රැයවල් දිග වෙද්දි.
කතා දිග වෙද්දි.
හිනාව වැඩි වෙද්දි.
එකිනෙකාගේ හුස්මක් තරම් ළඟ හුරුපුරුදුකමක් වෙනකම් ඒ හැගීම එහෙමම තිබුනා.. ✨️✨️
Continue....